රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ජුනි 30 ට පෙර ඉල්ලයි
17 May 2026 | ඉෂාර රත්නකාර
රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ජුනි 30 ට පෙර ඉල්ලයි
17 May 2026 | ඉෂාර රත්නකාර
මෙම වසරට අදාළ වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබන ජුනි 30 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසම රාජ්‍ය නිලධාරීන් වෙත දැනුම් දී තිබේ.
වත්කම් හා බැරකම් ප්‍රකාශ මෙවර ලබාදිය යුත්තේ ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ පමණක් බවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදීමට බැඳී සිටින සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත දැනුම් දී තිබේ.
‘‘2026 වර්ෂය සඳහා වන වත්කම් හා බැරකම් ප්‍රකාශ ඩිජිටල් ක්‍රමවේදය (e-Assets Format) ඔස්සේ පමණක් ඉදිරිපත් කළ යුතුයි. වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී විනිවිදභාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ අරමුණින් ඩිජිටල් ක්‍රමය යොදා තිබෙනවා. එම නිසා අතින් සම්පූර්ණ කරන ලද ප්‍රකාශයක් භාරගන්නේ නැහැ’’ යැයි අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය.
‘‘මෙම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ අවසාන දිනය වන්නේ ලබන ජුනි 30 වැනිදායි. ජුනි මස අවසාන දිනවල පද්ධතියට එකවර විශාල පිරිසක් පිවිසීමෙන් ජාලයේ තදබදයක් ඇතිවිය හැකියි. එම නිසා අවසාන මොහොත වනතෙක් ප්‍රමාද නොවී කල්තියා ලියාපදිංචි වී වත්කම් හා බැරකම් ප්‍රකාශ නිසි පරිදි යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. නියමිත දිනට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම බරපතළ වරදක් වෙනවා. දූෂණ විරෝධී පනත ප්‍රකාරව ලබන ජුනි 30 වන දිනට පසුව වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන පුද්ගලයන්ට අධිභාරයකට යටත් වීමට සිදුවෙනවා’’ යැයි අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

