brand logo
logo
2028-2030 කෘෂිකාර්මික සංවර්ධනයට IFAD සහාය

2028-2030 කෘෂිකාර්මික සංවර්ධනයට IFAD සහාය

04 November 2026


2028–2030 කාලසීමාව සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් සඳහා ජාත්‍යන්තර කෘෂිකාර්මික සංවර්ධන අරමුදලේ (IFAD) සහාය මෙරටට ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබේ.


ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇත.


මේ සඳහා IFAD හි දේශීය නියෝජිත Sherina Tabassum මහත්මිය එක්ව සිටි බව සඳහන් වේ.


මෙහිදී ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු ක්ෂේත්‍ර පිළිබඳව මෙන්ම, කුඩා පරිමාණ ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීම, කෘෂිකාර්මික ඵලදායිතාව වැඩිදියුණු කිරීම, ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳවද අවධානය යොමුව ඇත.


යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී, දැනටමත් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක වන “ප්‍රජාශක්තී” වැඩසටහන සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපති ලේකම්වරයා මෙහිදී අවධාරණය කර තිබේ.

එමෙන්ම, 2028–2030 කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතාවලට අනුව IFAD සහාය ලබාගැනීම සඳහා රජයේ ප්‍රමුඛතා හඳුනාගැනීමේ වැදගත්කමද අවධාරණය කෙරිණි.


ඒ අනුව, අදාළ රාජ්‍ය ආයතන සහ IFAD අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් ඉදිරියේදී ක්‍රියාත්මක කළ හැකි සංවර්ධන ව්‍යාපෘති හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම පිළිබඳවද සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.

 

More News..