Best News Website award
brand logo
logo
රුපියල් බිලියන 4ක මූල්‍ය වංචාවේ සැකකාර අධ්‍යක්ෂවරු දෙදෙනා රිමාන්ඩ්

රුපියල් බිලියන 4ක මූල්‍ය වංචාවේ සැකකාර අධ්‍යක්ෂවරු දෙදෙනා රිමාන්ඩ්

21 November 2026


ආයෝජකයන් 2,000කට ආසන්න පිරිසකට ලාභාංශ ලබාදෙන බවට පොරොන්දු වී මුදල් රැස්කර, එම මුදල් වංචා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පෞද්ගලික සමාගම් දෙකක අධ්‍යක්ෂවරු දෙදෙනා දෙසැම්බර් 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.


අදාළ සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.


මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම සමාගම් දෙකේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු අතරින් දෙදෙනෙකු ඊයේ (20) මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.


එම සමාගම් දෙක සම්බන්ධයෙන් මේ වන විට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණිලි 80ක් ලැබී ඇති බව ද වාර්තා වේ.


මහනුවර සහ කොහුවල ප්‍රදේශවල පිහිටි එම සමාගම් දෙක විසින් සිදුකර ඇති බවට චෝදනා එල්ල වන මූල්‍ය වංචාවේ වටිනාකම රුපියල් බිලියන 4කට ආසන්න බව ද අනාවරණය වී තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොටිතුවක්කු මහතාගේ, අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස් හා නියෝග මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

 

More News..