වන අලි දුම්රියේ ගැටීම වළක්වන්න නවීන තාක්ෂණික ක්‍රම රැසක්
05 November 2026
වන අලි දුම්රියේ ගැටීම වළක්වන්න නවීන තාක්ෂණික ක්‍රම රැසක්
05 November 2026
වන අලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු අවම කිරීම සහ වන අලින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා නවීන තාක්ෂණික ක්‍රමවේද ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.
ඒ සම්බන්ධයෙන් සකස් කර ඇති ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 03 හිදී පැවැත්විණි.
පරිසර අමාත්‍යවරයාගේ සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක නිලධාරීහු සහභාගී වූහ.
මෙහිදී 2026 ඔක්තෝබර් 31 වැනිදා වන විට ක්‍රියාකාරී සැලැස්මේ ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කරමින්, විශේෂයෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයේ වන අලි දුම්රියේ ගැටීමේ අවදානම අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කර තිබේ.
ඒ අනුව, නැගෙනහිර දුම්රිය මාර්ගයේ දැනට ධාවනය වන දුම්රිය එන්ජින් වෙනුවට අවට පරිසරය වඩාත් හොඳින් නිරීක්ෂණය කළ හැකි සහ වේගය කාර්යක්ෂමව පාලනය කළ හැකි නවීන දුම්රිය එන්ජින් හා දුම්රිය කට්ටල හඳුන්වාදීමට යෝජනා වී ඇත.
එමෙන්ම, රියදුරන්ට ඉදිරි මාර්ගය පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි අධිබලැති එන්ජින් ධාවනයට එක් කිරීම සහ වන අලින් දුම්රිය මාර්ගය හරහා ගමන් කරන ස්ථානවල අනතුරු ඇඟවීමේ නාම පුවරු වැඩිදියුණු කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.
මේ අතර, හබරණ දුම්රිය ස්ථානයේ සිට කන්තලේ දෙසට ගමන් කිරීමේදී සැතපුම් 133 1/2 ආසන්නයේ පිහිටි ප්‍රදේශයට ජලය පානය කිරීම සඳහා පැමිණෙන වන අලින් දුම්රිය මාර්ගය ආසන්නයට පැමිණීම වැළැක්වීමට විකල්ප ජල මූලාශ්‍ර සැපයීමට ද යෝජනා වී ඇත.
ඒ යටතේ සුදුසු ස්ථාන දෙකක ජල තටාක ඉදිකර ඒවාට ජලය සැපයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
තවද, දුම්රිය මාර්ගයේ දෙපස පැහැදිලිව නිරීක්ෂණය කිරීම සඳහා චලන සංවේදක (Motion Sensors) සහිත සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ආලෝක පද්ධති සවිකිරීම පිළිබඳව ද අවධානය යොමු වී ඇත.
මෙම සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය නොවන සංවිධානවල සහාය ලබාගැනීමේ වැඩපිළිවෙළ යටතේ Wildlife Nature Protection සංවිධානය සමඟ 2025 අප්‍රේල් 07 වැනිදා සාකච්ඡාවක් පවත්වා ඇති අතර, අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා එම සංවිධානයේ එකඟතාව ද හිමිව තිබේ.
එමෙන්ම, දුම්රිය රියදුරන්ට මාර්ගයේ දෙපස පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි පරිදි සූර්ය පැනල සහිත එල්ලෙන ආලෝක පහන් 30ක් සවිකිරීමේ වැඩපිළිවෙළක් ද යෝජනා කර ඇත.
මෙම ක්‍රියාමාර්ග ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීම තුළින් වන අලි සහ දුම්රිය අතර ගැටීම් අවම කර ගැනීමටත්, වන අලින්ගේ ජීවිත ආරක්ෂා කිරීමටත්, දුම්රිය මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් අපේක්ෂා කෙරේ.

