පාඩු වුවත් ඉන්ධන මිල නොනගියි
01 August 2026 | අශිකා ජයවීර
පාඩු වුවත් ඉන්ධන මිල නොනගියි
01 August 2026 | අශිකා ජයවීර
ඩීසල් ලීටරයකින් රුපියල් හැත්තෑවයි ශත හැට තුනක පාඩුවක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුවූවද එම පාඩුව දරාගෙන අගෝස්තු මාසය සඳහා ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් නොකිරීමට තීරණය කළ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා පවසයි.
මැදපෙරදිග යුද සමය ආරම්භ වීමත් ලෝක වෙෙළඳපොළ තුළ පසුගිය මාස කිහිපයේ ඩීසල් මිල සියයට එකසිය දහයකින් (110%) මිළ ඉහළ යාමක් සිදුවුවද මෙරට ඩීසල් මිල ඒ හා සමානව වැඩි කළ නොමැති බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.
අගෝස්තු මාසයේ ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඛනිජ තෙල් සංස්ථාවේදී ඊයේ (31 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.
යුද්ධය තාවකාලිකව අවසන්ව තිබී නැවත මේ දිනවල එය ආරම්භ වී ඇති බවත් ඒ හේතුවෙන් ද සියයය 58.9 කින් ඩීසල් මිල ලෝක වෙළෙඳපොළේ ඉහළ ගියද දේශීය වෙෙළඳපොළේ ඉහළ ගොස් ඇත්තේ සියයට තිස් පහකින් පමණක් බවත් මෙහිදී ඔහු පැවසුවේය.
පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 41. 35 කින් පෙට්‍රල් මිල ජූලි මාසයේදී ඉහළ ගොස් තිබුණද මෙම මාසය අවසන් වන විට ලෝක වෙළෙඳපොළේ සහ දේශීය වෙළෙඳපොළෙ මිල එක හා සමාන මට්ටමක පවත්වාගෙන යන බව ද මෙහිදී ඔහු අවධාරණය කළේය.
ඒ අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවේ. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414.00ක් ලෙස පැවති මිල ගණන් යටතේම පවතියි.
එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 382.00ක් ලෙස ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රුපියල් 495.00ක් ලෙස ද එලෙසින්ම පවතී. සුපර් ඩීසල් මිල රුපියල් 478.00ක් ලෙස සහ භූමිතෙල් මිල රුපියල් 285.00ක් ලෙස පවතින මිල ගණන් යටතේම පවතී.

