brand logo
logo
සමාජ මාධ්‍ය වෙත මුදාහරින දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ ගැන සැලකිලිමත් වන්න

සමාජ මාධ්‍ය වෙත මුදාහරින දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ ගැන සැලකිලිමත් වන්න

29 September 2026

සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය දෙමාපියන් ඇතුළු දරුවන්ගේ භාරකරුවන්ගෙන් ඉල්ලා සිටී.


Facebook ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් ඉපයීමේ ක්‍රමවේද ක්‍රියාත්මක වීමත් සමඟ දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට එක් කිරීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව එම අමාත්‍යාංශය පවසයි.


දරුවන්ගේ දක්ෂතා සහ සුරතල් ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය කිරීමේ මුවාවෙන් විවිධ පුද්ගලයන් සහ ආයතන එම ඡායාරූප හා වීඩියෝ වාණිජ අරමුණු සඳහා යොදාගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇති බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.


දරුවන්ගේ දෛනික ජීවන රටාව ඇතුළත් වීඩියෝ සහ Vlog සටහන් සමාජ මාධ්‍ය වෙත එක් කිරීම හරහා ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව දැඩි අවදානමකට ලක්විය හැකි බවටද අමාත්‍යාංශය අනතුරු අඟවයි.


එමෙන්ම, අන්තර්ජාලයට එක්කරන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ උපයෝගී කර ගනිමින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඔස්සේ අසභ්‍ය දර්ශන නිර්මාණය කිරීමේ අවදානමක්ද පවතින බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.


එබැවින් දරුවන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය තහවුරු කිරීම සඳහා සමාජ මාධ්‍ය භාවිත කිරීමේදී වඩාත් විමසිලිමත්ව සහ වගකීමෙන් කටයුතු කරන ලෙස දෙමාපියන් ඇතුළු දරුවන්ගේ භාරකරුවන්ගෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටී.

 

More News..