brand logo
logo
දෙවිනුවර විෂ්ණු දේවාල පෙරහැරේ කාවඩි නර්තනය ගැන දේවාලයේ බස්නායක නිලමේගෙන් නිවේදනයක්

දෙවිනුවර විෂ්ණු දේවාල පෙරහැරේ කාවඩි නර්තනය ගැන දේවාලයේ බස්නායක නිලමේගෙන් නිවේදනයක්

26 July 2026

දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි ඇසළ පෙරහර මංගල්‍යයේ කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් උද්ගතව ඇති වාතාවරණය පිළිබඳව දේවාලයේ බස්නායක නිළමේ තිළිණ මධුසංක මහතා නිවේදනයක් නිකුත් කර තිබුණි.


අද (26) පස්වරුවේ එම නිවේදනය නිකුකර ඇත.


එහි සඳහන් කර ඇත්තේ, 769 වැනි ඇසළ පෙරහර මංගල්‍යයේ 6 වැනි පේළි පෙරහරට කාවඩි නර්තන අංගය එක් කිරීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු විරුද්ධත්වයක් නොමැති බවය.


කෙසේ වෙතත්, ලියාපදිංචි කාවඩි නර්තන කණ්ඩායම් 25කට පමණක් එම නර්තන අංගයට සහභාගි වීමට අවසර ලබාදෙන බවද බස්නායක නිලමේවරයා සිය නිවේදනයෙන් දැනුම් දී තිබේ.


"දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි ඇසළ පෙරහර මංගල්‍යයේ 06 වැනි පේළි පෙරහරෙහි කාවඩි නර්තන සම්බන්ධ කිරීම සම්බන්ධව මාගේ කිසිම විරුද්ධත්වයක් නොමැති බව ප්‍රකාශ කරමි. 


තවද, ලියාපදිංචි කණ්ඩායම් 25 පමණක් නර්තනයේ යෙදීමට අවසර ලබාදෙමි."


මේ අතර, දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යයෙන් කාවඩි නර්තන අංගය ඉවත් කරන ලෙස මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා මීට පෙර නිර්දේශ කර තිබුණි.


කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් අතර පවතින බව කියන ගැටුම්කාරී තත්ත්වයක් පිළිබඳ පොලිස්පතිවරයා යොමු කළ බුද්ධි තොරතුරු සහ නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුව දිස්ත්‍රික් ලේකම්වරයා එම දැනුම්දීම සිදුකර තිබේ.

 

More News..