brand logo
logo
කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු  පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

24 October 2026 | ඉෂාර රත්නකාර

රුපියල් කෝටි 100 කට අධික වැට් බදු මුදල් ගෙවීම පැහැර හරින ලදැයි කොළඹ මහ නගර සභාවට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.


දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නීති අංශයේ නිලධාරින් විසින් පැවරූ එම නඩුවට අදාළව වගඋත්තරකාර කොළඹ මහ නගර සභාවට අධිකරණය මගින් සිතාසි ද නිකුත් කර තිබේ.


කොළඹ මහ නගර සභාව විසින් නිසි පරිදි ගෙවිය යුතු රුපියල් එකසිය තුන් කෝටි හතළිස් දෙලක්ෂ එක්දහස් හාරසිය හතළිස් හතක (103,42,01,447) වැට් බදු (එකතු කළ අගය මත බදු) ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එම නඩුව කොළඹ මහ නගර සභාවට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබේ.


කොළඹ මහ නගර සභාවේ ආදායම් ප්‍රභව 76 ක් තිබෙන අතර ඒ අතරින් ඉහළම ආදායමක් උත්පාදනය කරන්නේ වරිපනම් බදු (Property Tax), බලපත්‍ර ගාස්තු (License Tax), වෙළෙඳ බදු (Trade Tax), මුද්දර ගාස්තු (Stamp Duty) යන ආදායම් ප්‍රභව හතරෙන් වෙයි. එමගින් ලැබෙන ආදායම කොළඹ මහ නගර සභාවේ සමස්ත ආදායමෙන් 62%ක් පමණ වෙයි.


 කොළඹ මහ නගර සභාවේ 2026 වසරේ ඇස්තමේන්තුගත සමස්ත ආදායම රුපියල් කෝටි 2885 ක් බව කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් පවසා තිබිණි.


 ‘‘පොහොසත් නගරයක් - ලස්සන ජීවිතයක්’’ යන තේමාව යටතේ කොළඹ මහ නගර සභාවේ 2026 වසරේ අයවැය ඉදිරිපත් කරමින් නගරාධිපතිනිය එලෙස පවසා තිබිණි.

කොළඹ මහ නගර සභාවේ බලය හිමිව ඇත්තේ ජාතික ජන බලවේගයටය.

 

More News..