පොලිස් උසස්වීම්වලදී SDIGලා හිතුමතේ ලකුණු දෙන බවට චෝදනා
31 October 2026 | එෆ්. අස්ලම්
පොලිස් උසස්වීම්වලදී SDIGලා හිතුමතේ ලකුණු දෙන බවට චෝදනා
31 October 2026 | එෆ්. අස්ලම්
උසස්වීම්වලට අදාළව ලකුණු ලබාදීමේ පොදු නිර්ණායක හඳුන්වා දී තිබුණද පොලිස් කොස්තාපල් තනතුරේ සිට ප්රධාන පොලිස් පරීක්ෂක දක්වා තනතුරුවලට උසස්වීම් ලබාදීමේ සම්මුඛ පරීක්ෂණවලදී ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරුන් සිය අභිමතාර්ථයන් මත ලකුණු ලබාදීමෙන් පොලිස් නිලධාරින් බහුතරයකට දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි පොලිස් නිලධාරිහු චෝදනා කරති.
සම්මුඛ පරීක්ෂණ මණ්ඩල විවිධාකාරයෙන් ලකුණු ලබාදීම මගින් සැමට සාධාරණයක් අත් නොවන බවද ඔවුහු පෙන්වා දෙති.
මීට පෙර පොලිසියේ පැවැති පුරප්පාඩු පිරවීමට සියයට පනහකට (50%) උසස්වීම් ලබාදී තිබුණද ඒ අතුරින් උසස්වීම් අහිමි වූ නිලධාරින් පිරිසක් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්ද ගොනුකර තිබෙන පසුබිමක කුසලතා ලකුණු හා තරග විභාගයකින් ලබාගන්නා ලකුණු අනුව පුරප්පාඩු පිරවීමට පොලිස් මූලස්ථානය තීරණයක් ගෙන ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ දැනටමත් සිදුකරමින් පවතී.
අදාළ සම්මුඛ පරීක්ෂණවලදී මෙම ලකුණු ලබාදීමේ ක්රමවේදයට අනුව වැඩිම වාසියක් රාජ්ය බුද්ධි සේවයේ පොලිස් නිලධාරින්ට පමණක් අත්ව තිබෙන බව පොලිස් නිලධාරිහු කියා සිටිති. ඒ බුද්ධි තොරතුරකට ලකුණු දෙකක් ලබාදීම හේතුවෙනි.
රාජ්ය බුද්ධි සේවයේ අධ්යක්ෂවරයා එක් එක් නිලධාරින් ලබාදුන් බුද්ධි තොරතුරු මත ලබාගත් ලකුණු සහතික කර ලිපි ලබා දුන්නද පොලිසියේ ප්රධානතම බුද්ධි ඒකකය වන පොලිස් විශේෂ කාර්යාංශයේ අධ්යක්ෂවරයා බුද්ධි තොරතුරු සඳහා ලකුණු සහතික කර ලබාදීමක් නොකරන බවටද පොලිස් නිලධාරිහු චෝදනා කරති.
මීට අමතරව ක්රියාකාරී ඒකකවල රාජකාරි කරන පොලිස් නිලධාරින්ට එකම සුදුසුකමට වෙන් වෙන් වශයෙන් ලකුණු ලබාදීමක් සිදුවන නමුත් ප්රවාහන, නීති, මාධ්ය, සුබසාධන, මානව සම්පත් ඇතුළු ක්රියාකාරී නොවන කොට්ඨාසවල නිලධාරින්ට ඉතා අවම ලකුණු ගණනක් ලබාදීමෙන් සෙසු නිලධාරින් හා සාපේක්ෂව දැඩි අසාධාරණයකට ලක්වීමට සිදුව තිබෙන බවද එම කොට්ඨාසවල නිලධාරිහු කියා සිටිති.
එසේම පිළිගත් විශ්වවිද්යාලයකින් වසර හතරක උපාධි පාඨමාලාවක් සම්පූර්ණ කර ඇති නිලධාරින්ට ලකුණු 5ක්, වසරක ඩිප්ලෝමාවක් සිදුකළ නිලධාරින්ට ලකුණු 03ක් සහ දින 14ක පාඨමාලාවක් සම්පූර්ණ කළ නිලධාරින්ට ලකුණු 1ක් ලබාදෙන බවත් අඩු කාලයක් තුළ කුමන හෝ පාඨමාලාවක් සිදුකළ නිලධාරින් ලබාගන්නා ලකුණු ඉහළ යාමෙන් උපාධිධාරී නිලධාරින්ට අසාධාරණයක් සිදුවන බවත් එම නිලධාරිහු පෙන්වා දෙති.
තවද කටාන ජාතික පොලිස් අභ්යාස ආයතනය මගින් සිදුකළ ඩිප්ලෝමා පාඨමාලා සඳහා ලකුණු ලබාදීමේදී නිලධාරින්ට අඩු වැඩි වශයෙන් ලකුණු ලබාදීමක් සිදුකරන බවටද පොලිස් නිලධාරිහු චෝදනා කරති. මෙමගින් පොලිසියේ අධ්යාපන සුදුසුකම් සපුරා ඇති නිලධාරින්ට දැඩි අසාධාරණයක් සිදුව ඇතැයිද ඔවුහු කියති.
අපරාධ විමර්ශනය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කළ කොස්තාපල්වරයකුට නිලයන්වල ලකුණු 8ක් සහ සැරයන්, උප පොලිස් පරීක්ෂක හා පොලිස් පරීක්ෂක නිලයන්හි කටයුතු කරන නිලධාරින්ට ලකුණු 4 බැගින් ලබාදෙන බවත් පොලිස් විද්යාව පිළිබඳ උසස් පාඨමාලාව හැදෑරූ පොලිස් කොස්තාපල්වරයකුට ලකුණු 05ක් හා ඊට වඩා උසස් නිලතල දරන නිලධාරින්ට ලකුණු 3 බැගින්ද වශයෙන් විෂම ආකාරයකින් මෙම ලකුණු ලබාදීම සිදුකරන බවටත් ඔවුහු චෝදනා කරති.

