බුලත් කෙළගැසීම හා මහපාරේ මුත්‍රා කිරීම
26 August 2026
බුලත් කෙළගැසීම හා මහපාරේ මුත්‍රා කිරීම
26 August 2026
පිටකොටුවේ ප්‍රධාන බස් නැවතුම්පොළේ බුලත් කෙළ ගැසූ හා මුත්‍රා කළ 1029 දෙනකු අල්ලා ඔවුන් ලවාම ඒ පිරිසුදු කෙරුණු බව ඊයේ අප පුවත්පතේ ප්‍රධාන පුවතෙන් හෙළිදරව් කෙරී තිබුණේය. මේ නම් නොමසුරුව අගය කළ යුතු කටයුත්තකි. ඒ කටයුත්තේ නියැළී තිබුණේ බස් නැවතුම්පොළ නවීකරණය කිරීමෙන් පසු එහි ආරක්ෂාව භාරව කටයුතු කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පොලිසිය හා ලංකා ගමනා ගමන මණ්ඩලයේ ආරක්ෂක අංශයි.
මෙහිදී අපේ කල්පනාවට නැගුණේ මේ සිදුවන්නේ දැන් මධ්‍යම ආදායම් ලබන රටක් හැටියට පිළිගත් ශ්‍රී ලංකාවේ බවය. චිරාත් කාලයක් දියුණු වෙමින් පවතින රටක් හැටියට සැලකුණු රට මධ්‍යම ආදායම් ලබන රටක් වීමෙන් තබා ඇත්තේ ඉදිරි පියවරකි. එහෙත් ඇතැම් කාරණාවලින් නම් අප තවමත් එදා තිබුණු නොදියුණු රටමය.
ඊයේ අප මේ තීරුවෙන් පෙන්වා දුන්නේ රිය අනතුරු සම්බන්ධයෙන් ගත් කළ ශ්‍රී ලංකාව තවමත් කිසිම දියුණුවක් නොලැබූ රටක් වන සැටිය. තට්ටු ගණන් උස ගොඩනැගිලි හා අධිවේගී මාර්ග ඉදිකෙරුණු පමණින් රටක් සංවර්ධිත යැයි සලකන්නට නුපුළුවන් බව අප තේරුම්ගෙන නැති කාරණයකි. දියුණු රටවල් එසේ හඳුන්වනු ලබන්නේ ඔවුන් දියුණු වී ඇත්තේ ආර්ථික වශයෙන් පමණක් නොවන බැවිනි.
අපේ නොදියුණුකම පිළිබඳ හොඳම සාක්ෂිය සපයන්නේ බුලත් කා තැන් තැන්හි කෙළ ගැසීමට හා ඕනෑම ප්‍රසිද්ධ ස්ථානයක මුත්‍රා කිරීමට මැළි නොවීමය. බුලත් කා අහුවුණු තැනක කෙළගැසීම නම් අපේ රටේ වැඩිහිටි පරපුරේ සැලකිය යුතු පිරිසක් අනුගමනය කරන කැත පුරුද්දකි. ප්‍රසිද්ධ ස්ථානවල මුත්‍රා කිරීම සම්බන්ධයෙන් ගත් කළ එසේ නොකළ කෙනකු (විශේෂයෙන් පුරුෂ පාර්ශ්වයේ කෙනකු) සොයාගැනීමට බැරි තරම්ය.
පිටකොටුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ මුත්‍රා කිරීමෙන් හා බුලත් කෙළ ගැසීමෙන් අපවිත්‍ර කළ පිරිස්වලට දඬුවම් කිරීම අගය කළ යුතු වැඩෙක් බව අපි ඉහතදී සඳහන් කළෙමු. එහෙත් බුලත් කෙළ ගැසීමෙන් හා මුත්‍රා කිරීමෙන් මුළු රටම අපිරිසුදු කෙරෙද්දී එය වැළැක් වී ඇත්තේ ඉතා කුඩා බිම් ප්‍රමාණයක පමණක් බවද සිහිකටයුතුය. එහෙත් ඒ රටේ සෑම බිම් අඟලකටම බලපැවැත්විය යුතු නීතියකි.
අපේ රටේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් දැන් ජීවත්වන්නේ පිටරටවලය. එහෙත් එසේ විදේශගතව සිටින පිරිස් ඒ කවර රටකදී වුව බුලත් කා ප්‍රසිද්ධ ස්ථානයක කෙළගැසීමේ හෝ ප්‍රසිද්ධ ස්ථානයක මුත්‍රා කිරීමේ හෝ වරදට දඬුවම් ලැබූ පුවතක් අප කවදාවත් අසා නැත. ඒ ඔවුන් දේසෙ හැටියට බාසෙ කියා ඒ ඒ රටවලට ගැළපෙන ආකාරයට ජීවත්වන නිසාය.
එහෙත් කටුනායකින් ගොඩබැසි වහාම ඔවුන්ට පාර අයිනකට ගොස් මුත්‍රා කිරීමට අවශ්‍ය වේ. බුලත් හපන්නෙක් නම් බුලත්විටක් කා කටට තැබූ ඇඟිලි දෙකක් අතරින් රතුපාටට බුලත් කෙළ නොගසාම බැරිය. ඒ ඔවුන් ජීවත්වන රටේ නීති, ඔවුන්ගේ මව්බිමේ නැති බැවිනි.
මේ අශීලාචාර පුරුද්ද නැති කළ නොහැක්කක් නොවේ. මීට අවුරුදු හතළිහකට පනහකට පෙර අපේ රටේ බස්, කෝච්චිවල මගීන් මෙන්ම සිනමාශාලාවල නරඹන්නෝද දුම් බීවෝය. ඒ දුම් නොබොන්නන්ට ඉන් සිදුවන හිරිහැරය ගැන වගේ වගක් නැතුවය.
අනතුරුව පොදු ප්‍රවාහනවල හා සිනමා ශාලාවල දුම් බීම තහනම් කෙරුණේය. ඒ ක්‍රියාත්මක කෙරුණේ හමුදාවේ හෝ පොලිසියේ හෝ අධීක්ෂණය යටතේ නොවේ. එහෙත් නීතිය පැනවීමෙන් පසු දුම්බීම නතර වූයේය.
එහෙත් බුලත් කා තැන තැන කෙළ ගැසීම මෙන්ම ප්‍රසිද්ධ ස්ථානවල මුත්‍රා කිරීමද දිගටම පවතියි. ඒ තහනම් කෙරෙන නීතියක් නැති නිසාය. ඇතැම් තැනෙක කරකියාගත දෙයක් නොමැති තැන "මුත්‍රා කිරීම බල්ලන්ට පමණයි " කියා අසල්වැසියන් ලියා තබන්නේ එහෙයිනි.
බුලත් කෑම සෞඛ්‍යයට අහිතකර යැයි වෛද්‍යවරුන් පෙන්වා දෙතත් එය රටේ නීතියෙන් තහනම් කෙරුණු දෙයක් නොවේ. එසේ වුවද බුලත් කා අතන මෙතන කෙළ ගැසීම නම් නීතියෙන් තහනම් කළ හැකි හා තහනම් කළ යුතු දෙයකි. ප්‍රසිද්ධියේ මුත්‍රා කිරීමද එබඳු තහනමකට ලක්විය යුත්තකි.
අපේ රටේ ඕනෑම නීතියක් ක්‍රියාත්මක කරන්නට යන විට ඊට විරුද්ධ වන පිරිසක්ද සිටිති. එහෙත් බුලත් කා තැන තැන කෙළ ගැසීමට මෙන්ම සිතුණු තැනෙක සිතුණු විටෙක මුත්‍රා කිරීමට එරෙහිව නීති පැනවුණහොත් ඊට විරුද්ධ වන පිරිසක් සිටිනු ඇතැයි සිතිය නොහැකිය. අදට වඩා දුම්බීම ප්‍රචලිතව තිබුණු යුගයකදීත් පොදු ප්‍රවාහනවල හා සිනමා ශාලාවල දුම්බීම වාරණය කිරීමට කිසිවකුත් විරුද්ධ නොවූ වගද අපට මතක හෙයිනි.
මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු තමන්ගේ විරුද්ධවාදීන් අත්අඩංගුවට ගැනීම හැරෙන්නට කළ දෙයක් නැතැයි ඔවුන්ගේ විරුද්ධවාදීහු නිතර දෙවේලේ කියති. ඒ නිසා ආණ්ඩුවට මෙය තමන් රටට යමක් කළේ යැයි කියන්නට යොදා ගත හැකි කදිම අවස්ථාවකි. ඒ අවස්ථාව ලබාගනිමින් බුලත් කා තැන තැන කෙළ ගැසීම මෙන්ම ප්‍රසිද්ධියේ මුත්‍රා කිරීමද නතර කිරීමට ආණ්ඩුවට කටයුතු කළ හැකිය.

