brand logo
logo
පේරාදෙණිය සරසවියේ කොටි

පේරාදෙණිය සරසවියේ කොටි

01 August 2026 | ජයසූරිය උඩුකුඹුර

පේරාදෙණිය කී විට අප කාගේත් මතකයට එන්නේ ලංකාවේ ලස්සනම විශ්වවිද්‍යාලයයි. ඉංග්‍රීසියන්ගේ කාලයේ විශ්වවිද්‍යාලයක් ගොඩනැගීමට සුදුසු බිම කොහේදැයි සොයා බැලීමට 1926 දී පත් කළ අක්බාර් කාරක සභාව, දුම්බර මිටියාවතේ විශ්වවිද්‍යාලයක් හැදීමට මුලින්ම යෝජනා කළේය. එයට අක්බාර් යනුවෙන් නම් කළේ ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රි එම්. ටී. අක්බාර් එහි සභාපති ධුරය දැරූ බැවිනි.


මතවාද, කඹඇදිලි මැද අවසානයේ මහනුවර විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට තීරණය විය. අතීතයේ ඒ බිම හැඳින්වුණේ පේරාදෙණිය තේ වත්ත යනුවෙනි. එම වත්තෙන් අක්කර තුන්සියයක කොටසක් මිලදීගෙන විශ්වවිද්‍යාලය හැදීමේ බර එකල කරට ගත්තේ ගමනාගමන හා වැඩ ඇමැති සර් ජෝන් කොතලාවලය.

එදා සේම අදද පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගහකොළින් සරුසාරය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියන්නේ නුවර - කොළඹ පාරේ ගලහ හන්දියේ ඇස් පේන මානයට ඇති බිම පමණක නොවේ. විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය ඇත්තේ ගලහ හන්දියේ සිට මහකන්ද පාරේ කිලෝ මීටරයක් පමණ ගිය විට හමුවන විජයවර්ධන ශාලාව අසලින් වම් පැත්තට ඇති උඩ පේරාදෙණිය පාරේය. කැලෑබද එම මාර්ගයේ කිලෝ මීටර් තුනක් පමණ උඩට යන පාර අවසන් වන්නේ පශු වෛද්‍ය පීඨයෙනි. මේ පශු වෛද්‍ය පීඨයට අයත් සත්ත්ව ගොවිපොළේ ගාල් කර සිටි වසු පැටවකුගේ හිස කොටස කොටියකු විසින් ගිය සතියේ කා දමා තිබිණි. ඉකුත් මාර්තු මාසයේද මේ ආකාරයටම මෙම ගොවිපළේ වසු පැටවකු කොටියකුට බිලි විය. මේ සිද්ධීන් සමග පේරාදෙණිය සරසවියේ කොටි භීතියක් පැතිර ගියේය. මින් පෙර මහනුවර ආශ්‍රිත තේවතුවල කොටින් සිටියද ජනාවාස බිමක මෙවැනි සිද්ධියක් වාර්තා වූයේ මුල් වරටය. මහනුවර හන්තාන කන්දට මායිම්ව වෛද්‍ය පීඨයට අයත් මෙම ගොවිපළේ එළගවයන්, මී ගවයන්, එළුවන්, හාවන්, කුකුළන් වැනි සතුන් ගාල් කර ඔවුන් නඩත්තු කරමින් මෙම ගොවිපළ පවත්වා ගෙන යන්නේ පශු වෛද්‍ය සිසුන්ගේ ප්‍රායෝගික අධ්‍යයන කටයුතු වෙනුවෙන්ය.


දැනට සත්ත්ව විද්‍යාඥයන් කර ඇති පරීක්ෂණ අනුව හන්තාන රක්ෂිත වනාන්තරය කොටින්ගේ නිජ භුමිය බවට අනාවරණය කර ගෙන ඇත. මේ නිසා මෙම කොටින් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම කළ නොහැක්කක් බවද සඳහන්ය. හන්තානේ සිටි කොටි විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඒමට හේතුව කුමක්ද?

හන්තාන කැලයේ මේ වන විට විවිධ කටයුතු සඳහා එළිපෙහෙලි කිරීම නිසා සතුන්ගේ වාසස්ථාන සීමා වී ඇති බවද මේ හේතුවෙන් සතුන් ජනාවාස වෙත ගමන කර ඔවුන්ගේ ගොදුරු සොයා ගැනීමට පෙලඹී ඇති බවත් හන්තාන කොටින් පිළිබඳ පරීක්ෂණ පවත්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රසික ජිනදාස පෙන්වා දෙන්නේය.


"අපි කීප දෙනෙක් හන්තාන කැලැවේ කොටින්ගේ හැසිරීම් පිළිබඳ දීර්ඝ කාලයක් විවිධ පරීක්ෂණ කරනවා. දැනට කර ඇති පරීක්ෂණ අනුව හන්තාන කැලෑවේ කොටින් පස් දෙනෙක් පමණ ජීවත් වෙනවා. පැය විසිහතරම කැමරා සවි කර අපි කර ඇති පරීක්ෂණ අනුව මේ කාලය පැටව් බිහි කරන කාලයයි. ඒ කාලයේ කොටින් ටිකක් ක්‍රියාශීලිව දඩයම් හොයනවා. මිනිස්සු කැලයේ ඉන්න මුවන් හාවන් වැනි සතුන් දඬයම් කරන නිසා කොටින්ට දැන් කැලයේ දඬයම් කරන්න සතුන් නෑ. ඒ නිසා උන් ජනාවාසවලට පැමිණ බල්ලන් එළුවන් ගව පැටවුන් වැනි සතුන් දඬයම් කරන්න පටන් ගෙන තිබෙනවා යැයිද මහාචාර්යවරයා කීවේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අයත් සත්ව ගොවිපළක සතුන් කන්නට කොටින් ඇවිත් යැයි යන ආරංචියෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගුරුවරන් සිසුන් මෙන්ම ඒ සිසුන්ගේ දෙමාපියන්ද කලබලයට පත්ව සිටින්නේ පසුගිය කාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍යය පීඨයේ කාර්යාලයක් අසලටම කොටියකු පැමිණ ඇති බව සීසීටීවී කැමරාවල සටහන්ව තිබීම නිසාය.


මේ අනුව ඉකුත් මාර්තු මාසයේ සිටම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් අදාළ බලධාරින් දැනුවත් කරමින් මෙම කොටින්ගේ වාසස්ථාන මාරු කර දෙන ලෙසට ඉල්ලීම් කර ඇතත් මේ දක්වා ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.


"හන්තාන කැලෑවට මායිම් වෙන්න අපේ විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය ප්‍රායෝගික අධ්‍යයනය සඳහා යොදා ගන්න ගොවිපොළ පිහිටුවා තිබෙනවා. ඒ ගොවිපළේ විවිධ වර්ගයේ සතුන් ඉන්නවා. ගව පැටවුන් මේ ගොවිපළේ වෙනම ගාල් කර තබන බව තමයි වාර්තා වෙන්නෙ. එහෙම වෙනම ගාල්කර සිටි ගව පැටියකු කොටියකු විසින් කා දමා තිබෙනවා. මීට පෙරත් වසු පැටවකු කොටින්ගේ බිල්ලක් වුණා. ඒ ඉකුත් මාර්තු මාසයේදී. එදා සිට මේ දක්වා විශ්වවිද්‍යාලයේ දරුවන් හා ගුරුවරුන් දැනුවත් කරමින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විවිධ පියවරයන් අනුගමනය කරලා තිබෙනවා. අපි කියන්නෙ මේ කොටින් ගේ වාසස්ථානය මාරු කරන්නයි. ඒ ගැන වනජීවි නිලධාරින්ට අපි ලිඛිතව දැනුම් දීලා තිබෙනවා, යැයිද උපකුලපතිවරයා අරුණට කීවේය.


ශ්‍රී ලංකාවේ කොටින් මාංශ භක්ෂකයන් වුවත් උන් මීනි මස් කන්න හුරු වී ඇති බවට තොරතුරු වාර්තා වී නැත. එසේ වූයේ නම් තත්ත්වය මීටත් වඩා දරුණුය. මෙරට සිටින්නේ දිවියන්ය. කොටින් ලෙස හැඳින්වුවත් උන් කොටින් තරම් දරුණු නැත. මේ අනුව හන්තාන කොටින් ගැන පේරාදෙණිය විශ්වවිද්‍යාලය බිය විය යුතුද යන්න පිළිබඳව පරිසරවේදී නයනක රන්වැල්ලගෙන් අපි විමසුවෙමු.


"ඇත්තටම මුලින්ම කියන්න ඕනේ අපේ රටේ කොටින් මිනී මස් කන්නන් ලෙස මේ දක්වා වාර්තා වී නැති බව. අපේ රටේ කොටියා දඬයම් කරන්නේ උගේ ඇස්මට්ටමට වඩා පහළින් ඇති ගොදුරු පමණයි. මනුෂ්‍යයා උගේ ඇස්මට්ටමට වඩා ඉහළින් නිසා කොටියාගෙන් මනුෂ්‍යයාට තර්ජනයක් නෑ කියල තමයි කියන්න වෙන්නෙ. නමුත් පසු ගිය කාලයේ වාර්තා වූ කොටි පහරදීම් අනුව මනුෂ්‍යා වාඩි වී සිටින විට කොටියාගේ ඇස් මට්ටමට පහළින් නිසා කොටියා මනුෂ්‍යාට කඩා පනින්න පුළුවන්. ඒ නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කවුරුත් කලබල නොවී ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතු වෙනවා. අපේ රටේ මිනිස්සු නොදන්නවා වුණාට අපි මේ දක්වා කර ඇති පර්‌යේෂණ අනුව කොටියා ඉතාම සුක්ෂම ආකාරයට ජනාවාසවල ගැවසෙනවා. සමහර ප්‍රදේශවල රාත්‍රිකාලයේ කොටියා ගම තුළ සැරිසරනවා වගේම දිවා කාලයේදීත් ගම තුළම සැඟව සිටිනවා. එහෙම වුණත් ඌ මිනිසුන්ට කරදර කරන්නෙ නෑ. ඌ තම පැටවුන්ට මිනිසුන්ගෙන් හානියක් වුණොත් පෙරළා පහර දෙන්න පුළුවන්. එවැනි අවස්ථා හැර ගේ ළඟ කොටි හිටියත් උන්ගෙන් මිනිසුන්ට කරදර වෙන අවස්ථා ඉතාම අඩුයි යැයිද ඔහු කීවේය.

 

More News..