නව චීන තානාපති සහ රාජ්‍ය පරිපාලන ඇමති අතර සාකච්ඡාවක්
29 September 2026
නව චීන තානාපති සහ රාජ්‍ය පරිපාලන ඇමති අතර සාකච්ඡාවක්
29 September 2026
මෙරට නව චීන තානාපති වෙයි හුආෂියැන්ග් මහතා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.
එහිදී රාජ්‍ය පරිපාලන ප්‍රතිසංස්කරණ, ප්‍රාදේශීය පාලනය, ආපදා කළමනාකරණය පිරිසිදු පානීය ජලය සහ පූර්ව අනතුරු ඇඟවීමේ AI තාක්ෂණය කෙරෙහි මෙහිදී ප්‍රමුඛ අවධානය යොමුව තිබේ.
දෙරට අතර පවතින චිරාත්කාලීන රාජ්‍යතාන්ත්‍රික සහ මිත්‍රශීලි සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය නවීකරණය, ප්‍රාදේශීය සහ පළාත් පාලන ආයතනවල ධාරිතා වර්ධනය, ආපදා කළමනාකරණ යාන්ත්‍රණය, පිරිසිදු පානීය ජල ව්‍යාපෘති, තාක්ෂණික හුවමාරුව සහ ජනතාවගේ සුබසාධනය උදෙසා ක්‍රියාත්මක අනාගත ව්‍යාපෘති රැසක් පිළිබඳවද මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමුව ඇත.
මෙම සාකච්ඡාව ආරම්භයේදී අදහස් දක්වමින් චීන තානාපතිවරයා චීන ශ්‍රී ලංකා ඓතිහාසික මිත්‍රත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින් චීනය විසින් මෙරටට ලබා දෙන කිසිදු ආධාරයක් හෝ සහයෝගීතාවක් වෙනුවෙන් කිසිදු දේශපාලන කොන්දේසියක් තබා නොමැති බවද පෙන්වා දී තිබේ.
එමෙන්ම වර්තමානයේ මෙන්ම අනාගතයේදීද එම විදේශ ප්‍රතිපත්තිය එලෙසම පවතින බවත් චීන තානාපතිවරයා අවධාරණය කර ඇත.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙරට රාජ්‍ය සේවයේ විශාල පිරිසක් සිටියද වසරකට විදේශීය පුහුණු අවස්ථා ලැබෙනුයේ සීමිත පිරිසකට බැවින් චීනය තුළ මෙරට රාජ්‍ය නිලධාරීන්ට වැඩිදුර අධ්‍යාපන සහ ප්‍රායෝගික පුහුණු අවස්ථා ලබා දෙන ලෙස ඉල්ලීමක්ද සිදුකර තිබේ.
මීට පිළිතුරු ලබා දෙමින් මෙරට ප්‍රාදේශීය සහ පළාත් පාලන නිලධාරීන් වෙනුවෙන් විශේෂිත පුහුණු වැඩසටහන් සකස් කිරීමට පියවර ගන්නා බවද චීන තානාපතිවරයා අමාත්‍යවරයා හමුවේ පවසා තිබේ.
එමෙන්ම ගෝලීය දේශගුණික විපර්යාස හමුවේ මතුවන හදිසි ආපදා තත්ත්වයන් පාලනය කිරීම සඳහා චීනය විසින් මෑතකදී සංවර්ධනය කරන ලද කෘතිම බුද්ධිය පදනම් කරගත් නවීන කාලගුණික සහ භූගෝලීය ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය මෙරටට හඳුන්වා දීමට ඇති හැකියාවද තානාපතිවරයා කරුණු පැහැදිළි කර ඇත.
එසේම මෙරට තුළ යම් ආපදා තත්ත්වයක් ඇතිවූ වහාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා ඉල්ලීමක් කළ සැණින් මෙරට ක්‍රියාත්මක චීන සමාගම් සහ තානාපති කාර්යාල එක්ව ක්ෂණික තාක්ෂණික සහාය, බිඳවැටුණු විදුලි සංදේශ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම, හදිසි සහන ද්‍රව්‍ය සහ මූල්‍ය ආධාර ලබාදීමේ විශේෂ ක්ෂණික සහන යාන්ත්‍රණයක් සකස් කිරීමටද යෝජනා කර තිබේ.

