Best News Website award
brand logo
logo
කාවන්තිස්ස මියගියේ වෙඩි වැදීමෙන් නොවේ!

කාවන්තිස්ස මියගියේ වෙඩි වැදීමෙන් නොවේ!

19 November 2026 | •උපාලි ආනන්ද-අනුරාධපුර

කාවන්තිස්‌ස හස්තියා මිය යෑමට හේතුව ලෙස මහාන්ත්‍රයේ ගැට ගැසිම් සහ ඒ ආශ්‍රිතව සිදු වූ පෙස්ටික් කම්පනය සහ ඉන් පසු සිදු වූ බහු අවයව සංකූලතා හේතු වු බවට කාවන්තිස්ස හස්තියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨයේ මහචාර්ය ආර්.ආර්.එම්.කේ.කේ. විඡේසුන්දර සිය අතුරු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් තහවුරු කොට ඇති බව ගල්ගමුව මහෙස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර මභතා විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කළේය.


මහෙස්ත්‍රාත්වරයා මේ බව ප්‍රකාශ කළේ කාවන්තිස්‌ස හස්තියා මිය යෑමේ සිද්ධියට අදාළ නඩුව ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (18 වැනිදා) යළි කැඳවූ අවස්ථාවේදීය. මහචාර්ය ආර්.ආර්.එමි.කේ.කේ. විජේසුන්දර විසින් අධිකරණයට යොමු කරනු ලැබ තිබු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තවදුරටත් නිරීක්ෂණය කළ මහෙස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර පැවසුවේ කාවන්තිස්ස හස්තියාගේ දකුණු පාදය ආශ්‍රිතව නිදන්ගත තුවාල තුනක් නිරීක්ෂණය වී ඇති බවත් ඒවා තුළ කිසිදු මූනිස්සම් හෝ උණ්ඩ කොටස් හමුවී නැති බවත්ය.


පශ්චාත් මරණ පරීක්ෂණය අතරතුර හස්තියාගේ දකුණු උදර සහ උරස් බිත්තියේ මූනිස්සම් තුනක් තිබී හමුවී ඇති බවද සදහන් කළ මහෙස්ත්‍රාත්වරයා නමුත් ඒවායින් කිසිදු අභ්‍යන්තර අවයව හෝ අස්ථීන්ට හානි වී නොමැති බව අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් අනාවරණය කර ඇතැයිද කීවේය. ඒ අනුව මහාචාර්යවරාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා මගින් ප්‍රශ්නාර්ථයක් මතු කර ඇති බවත් මහෙස්ත්‍රාත්වරයා කීවේය. කාවන්තිස්‌ස මිය යෑමට සිද්ධියට අදාළ සියලු විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙසට ද නියෝග කළේය. කාවන්තිස්‌ස හස්තියාගේ වැඩිදුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ජාත්‍යන්තර විශේෂඥ පශු වෛද්‍ය මණ්ඩලයක් මගින් සිදු කරවා ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටත් අතරමැදි පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය සහ නීතිඥවරුන් වන රෝහිත රාජකරුණා සහ බාලක්‍රිෂ්ණන් ප්‍රියංග යන මහත්වරුන් කල ඉල්ලීම් මහෙස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි ඉන්දික ගමගේට මී ළඟ නඩු දීනයේදී අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කෙරිණ. මෙහිදී වන ජීවි ඡායාරූප ශිල්පි පැතුම් බණ්ඩාර මහතා වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය පැවසුවේ අලි ඇතුන් සංරක්ෂණයට ගියවර අයවැයෙන් මිලියන 1000 ක් වෙන්කර ඇති බවත් එම මුදල් වැය නොකළ වන ජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට සිය පරිපාලනමය වගකීම් හැර ඇති බවයි. කාවන්තිස්‌ස හස්තියාගේ මරණයට වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට වගකිව යුතු බවටද චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා මේ වසරේ පමණක් අලි ඇතුන් 280 ට වැඩි ප්‍රමාණයක් වෙඩි තැබීමෙන් සහ විවිධ අනතුරුවලින් මිය ගොස් ඇති බවද ප්‍රකාශ කළේය. පශු වෛද්‍යවරුන් ‍ඇතාට ප්‍රතිකාර කළද නිසි පසු විපරමක් මෙන්ම අධීක්ෂණයක් කළ බවක් පෙනෙන්නට නැති බවද පවසා සිටි ජනාධිපති නීතිඥවරයා සතකු රෝගාතුර වූ විට කළ යුත්තේ වීඩියෝගත කර මුහුණු පොතේ දැමීම නොවන බවද කියා සිටියේය. ප්‍රතිකාර ලබා සුවය ලැබූ ඇතා මිය යෑම පිළිබඳව ප්‍රබල සැකයක් පවතින බවත් ඒ අනුව කාවන්තිස්ස හස්තියාගේ මරණයට යුක්තිය ඉටු කරවා ගැනීමට නියෝග ලබාදීමේ බලය මෙම අධිකරණයට පවතින බවත් කීවේය. best vision සංවිධානය වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ රෝහිත රාජකරුණා කියා සිටියේ කාවන්තිස්සගේ උදරයේ යට කොටසට වෙඩි වදිනවා නම් එසේ සිදුවිය හැක්කේ හස්තියා බිම වැටී සිටියදී මිස හිටගෙන සිටියදී නොවන බවයි.


ඒ අනුව කාවන්තිස්ස මිය යෑමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව කාවන්තිස්සගේ රාජකාරි සඳහා යොදවා සිටි වනජීවි නිලධාරින්ගේ ගිනි අවිද සී.අයි.ඩී. ය බාරයට ගත යුතු බවද අවධාරණය කළ නීතිඥවරයා මෙම සිද්ධියේදී වනජීවි නිලධාරින් සහ පශු වෛද්‍යවරුන් සිය රාජකාරි හරිහැටි සිදු කළාද යන්න විමර්ශනයක් කළ යුතු බවද සඳහන් කළේය. මීගලෑව වනජීවි අඩවි ආරක්ෂක ඩබ්.එම්.එස්.එස් වීරකෝන් මහතා දීර්ඝව කරුණු දක්වමින් ප්‍රකාශ කළේ කාවන්තිස්‌ස මේ රැකවරණ කටයුතු සහ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් වනජීවිය උපරිමයෙන් කටයුතු කර ඇති බවයි. විවිධ පාර්ශ්ව එල්ල කරන පදනම් විරහිත චෝදනා ප්‍රතික්ෂේප කරන බවද පවසා සිටි ආරක්ෂකවරයා කාවන්තිස්සගේ පශ්චාත් පරීක්ෂණය සම්බන්ධව මහාචාර්යවරයා නිකුත් කර ඇති වාර්තාව පිළිබඳව තමන්ට මේ මොහොතේ අවබෝධයක් නැති බවද කීවේය.




© 2026 All Rights Reserved. Powered by Summit


 

More News..