හිඟුරක්ගොඩ සමූපාකාර ඉන්ධනහලේ පෙට්‍රල් තොගයක් ඩීසල් ටැංකියට ගොඩබාලා
28 November 2026
හිඟුරක්ගොඩ සමූපාකාර ඉන්ධනහලේ පෙට්‍රල් තොගයක් ඩීසල් ටැංකියට ගොඩබාලා
28 November 2026
පොළොන්නරුව, හිඟුරක්ගොඩ සමූපාකාර ඉන්ධන පිරවුම්හලේදී පෙට්‍රල් තොගයක් ඩීසල් ගබඩා කරන භූගත ටැංකියට ගොඩබෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
අද (28) පෙරවරුවේ එම ඉන්ධන පිරවුම්හල වෙත පැමිණි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් විසින් අදාළ සිදුවීම පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව වැරදීමකින් ඩීසල් ටැංකියට ගොඩබා ඇති පෙට්‍රල් තොගය යළිත් බවුසරයට පටවාගෙන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත රැගෙන ගොස් පරීක්ෂා කිරීමට නිලධාරීන් තීරණය කර තිබේ.
මේ අතර, පෙට්‍රල් ලීටර් 1,000කට අධික ප්‍රමාණයක් ඩීසල් භූගත ටැංකියට ගොඩබෑම හේතුවෙන් විශාල මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව හිඟුරක්ගොඩ සමූපාකාර සමිතියේ හිටපු සභාපතිවරයා පෙන්වා දෙයි.
අදාළ සමූපාකාර ඉන්ධන පිරවුම්හලේ පාලන කටයුතු ජාතික ජනබලවේගය නියෝජනය කරන නිලධාරී මණ්ඩලයක් විසින් සිදුකරන බව සඳහන් වේ.
එම පාලන කටයුතුවල පවතින අකාර්යක්ෂමතාව සහ නිසි පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් මෙම පාඩුව සිදුව ඇති බවටද හිටපු සභාපතිවරයා චෝදනා කර තිබේ.
තවද, අදාළ සමූපාකාර ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු ලෙස හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරයෙකු කටයුතු කරන බවද වැඩිදුරටත් වාර්තා වේ.


