brand logo
logo
ඔස්මන් ඝාතනයට සැලසුම් කළ 9ක් අල්ලයි

ඔස්මන් ඝාතනයට සැලසුම් කළ 9ක් අල්ලයි

21 April 2025 | නයෝමි කරුණාසිංහ


පාතාල කල්ලි දෙකක ගැටුමක් හේතුවෙන් ගම්පහ නගරයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන් අවුරුදු උත්සවයකදී ඝාතනය කිරීමට සැලසුම් කළ නව දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසය විසින් ගම්පහ තම්මිට ප්‍රදේශයේදී පෙරේදා (19) අත්අඩංගුවට ගෙන තිබේ.


නිවසක සැඟව සිටි මෙම සැකකරුවන් සතුව තිබී ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක්, මැගසින් දෙකක්, උණ්ඩ 105ක් හා දුරකථන 15ක් පොලිස් විශේෂ කාර්ය බළකාය සොයාගෙන ඇත.


සැකකරුවන් අතර සිටින වෙඩික්කරුවන් දෙදෙනකු ශ්‍රී ලංකා යුද්‍ හමුදාවෙන් පලා ගිය සෙබළුන් බවද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.


ගම්පහ වෙළෙඳ සංගමය විසින් නගරයේ සංවිධානය කර තිබූ අවුරුදු උත්සවයකට ගම්පහ ඔස්මන් සහභාගී වීමට නියමිතව තිබිණි.


අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22ත් 57ත් අතර පසුවන උඩුගම්පොළ, ගාල්ල, ගම්පහ හා හෙට්ටිපොළ පදිංචිකරුවන් වේ.


පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනය මෙහෙයවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින කමාන්ඩෝ සලින්න විසින් අදාළ පිරිස කෙහෙල්බද්දර පද්මේගේ වුවමනාව මත මෙහෙයවා ඇති බව සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණවී ඇත.


ඒ අනුව එම සැකකරුවන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ ගෝල බාලයන් බව පොලිසිය කියයි.


ගණේමුල්ල සංජීවද අවස්ථා ගණනාවකදී ගම්පහ ඔස්මන් නැමැත්තා ඝාතනයට උත්සාහ කර ඇති අතර අදාළ පිරිස ගම්පහ ඔස්මන් අවුරුදු උත්සවයක ආරාධිත අමුත්තකු ලෙස සහභාගීවී වන අවස්ථාවේ ඔහු ඝාතනය කිරීමට සැලසුම් කර තිබේ.


අදාළ සැකකරුවන් පිරිස වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී ඇති අතර එහිදී ඔවුන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන ඇත.

 

More News..