Best News Website award
brand logo
logo
ව්‍යාජ රියදුරු බලපත්‍ර සහ ජාතික හැඳුනුම්පත් මුදලට අලෙවි කළ ජාවාරමක් වටලයි

ව්‍යාජ රියදුරු බලපත්‍ර සහ ජාතික හැඳුනුම්පත් මුදලට අලෙවි කළ ජාවාරමක් වටලයි

12 November 2026

ව්‍යාජ රියදුරු බලපත්‍ර, ජාතික හැඳුනුම්පත් සහ වාහන ලියාපදිංචි සහතික මුදලට අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයන් දෙදෙනෙකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පොලීසිය පැවසුවේ නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආසන්නයේ නිවසක මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවය.


සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර 12ක්, ජාතික හැඳුනුම්පත් 08ක්, තාවකාලික රියදුරු බලපත්‍ර 08ක් සහ වාහන ලියාපදිංචි කිරීමේ සහතික 04ක් පොලිස් භාරයට ගෙන තිබේ.


නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ නිවාරණ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් වැලිකඩ පොලිස් වසමේදී සැකකටයුතු පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ තාවකාලික රියදුරු බලපත්‍රයක් සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ප්‍රශ්න කර ඇත.

එහිදී එම බලපත්‍රය නාරාහේන්පිට ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් 4,000ක මුදලකට මිලදී ගත් බවට ඔහු හෙළි කර තිබේ.


ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී නාරාහේන්පිට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආසන්නයේ පිහිටි නිවසක් වැටලූ පොලිසිය එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

නිවස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර, ජාතික හැඳුනුම්පත්, තාවකාලික රියදුරු බලපත්‍ර සහ වාහන ලියාපදිංචි කිරීමේ සහතික ඇතුළු ලේඛන තොගයක් සොයා ගැනීමට හැකි වී ඇත.

සැකකරු ඉතා සූක්ෂ්ම ලෙස මෙම ලේඛන සකස් කර, ඒවා ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන්ගේ අවශ්‍යතාව අනුව රුපියල් 7,500 සිට ඉහළ මිල ගණන් යටතේ අලෙවි කර ඇති බව ද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 32ත් 52ත් අතර වයස්වල පසුවන අංගොඩ සහ නාරාහේන්පිට ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

More News..