රනිල්ගේ කැබිනෙට්ටුවෙන් CIDය ප්‍රශ්න කරන්න යයි
12 November 2024 | ඉෂාර රත්නකාර
රනිල්ගේ කැබිනෙට්ටුවෙන් CIDය ප්‍රශ්න කරන්න යයි
12 November 2024 | ඉෂාර රත්නකාර
රට තුළ ඖෂධ හිඟයක් ඇතැයි ව්‍යාජ ලෙස සඳහන් කරමින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දුන් එවකට කැබිනට් මණ්ඩලය නියෝජනය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු අමාත්‍යවරුන් 18 දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රශ්න කර සටහන් කර ගන්නා බව නීතිපතිවරයා අධිකරණයට ඊයේ (11 වැනිදා) පස්වරුවේ දැනුම් දුන්නේය.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමිනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පුළුල් විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු කැබිනට් ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්ද, සුසිල් ප්‍රේමජයන්ත, බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ, හරීන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, විදුර වික්‍රමනායක, කංචන විජේසේකර, නසීර් අහමඩ්, රොෂාන් රණසිංහ, ටිරාන් අලස්, නලීන් ප්‍රනාන්දු, ජගත් පුෂ්පකුමාර යන 18 දෙනාගෙන් ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ ගන්නා බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම, මාලිගාකන්ද ප්‍රධාන මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වෙත දන්වා සිටියේය.
ඖෂධ 182 ක් හිඟ බව සහ ඖෂධ 17 ක් ශූන්‍ය බව ව්‍යාජ අයුරින් සඳහන් කරමින්ද, වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ද ඉකුත් 2022 සැප්තැම්බර් 26 වැනිදා හිටපු ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල විසින් කැබිනට් මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබූ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේය.
‘‘බාල බෙහෙත් නඩුවේ 08 වැනි සැකකරුවන හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ ඖෂධ හිඟයක් පවතින බව සඳහන් කළත්, එම ඖෂධ මොනවාද යන්න සඳහන් කර තිබුණේ නැත. නමුත් එම කාල වකවානුව වන විට ඖෂධ හිඟතාවක් නොතිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයේදී අනාවරණය වුණා. සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල විසින් රටෙහි හිඟතාවක් නොතිබූ ඖෂධ මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කුමන හේතුවක් මත කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය දුන්නාද කියා සොයා බැලිය යුතුයි. එම නිසා අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ කැබිනට් මණ්ඩලයෙන්ම ප්‍රශ්න කර ප්‍රකාශයක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද විමර්ශනයට අත්‍යවශ්‍ය වී තිබෙනවා. එම නිසා හිටපු ජනාධිපතිවරයා ඇතුළු 18 දෙනාගෙන් ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරනවා.’’ යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.
සැකකාර හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඖෂධ හිඟයක් ව්‍යාජ ලෙස මවමින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට ඉකුත් 2022 ඔක්තෝබර් 03 වැනිදා පස්වරු 03 ට ජනාධිපති කාර්යාලයේදී පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී හිටපු ජනාධිපති ඇතුළු 18 දෙනා අනුමැතිය දී ඇතැයිද අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය දන්වා සිටියේය.
මෙම නඩුවේ 08 වැනි සැකකරු කෙහෙළිය රඹුක්වැල්ල විසින් කැබිනට් මණ්ඩලය වෙත සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් යොමු කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයිද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය වැඩිදුරටත් දන්වා සිටියේය.