brand logo
logo
වසරේ මේ දක්වා ඩෙංගු මරණ 81ක්

වසරේ මේ දක්වා ඩෙංගු මරණ 81ක්

09 November 2026


වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 107,829ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.


එම ඒකකය පෙන්වා දෙන්නේ මින් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන බවය.


ඒ අනුව එම දිස්ත්‍රික්කය තුළ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 22,502ක් වාර්තා වී තිබේ.


දෙවැනියට වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ඒ අනුව එම දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 20,799ක් වාර්තා වී ඇත.


තෙවැනියට වැඩිම රෝගීන් ප්‍රමාණයක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 8,803ක් වාර්තා වී තිබේ.


මේ අතර වසරේ වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය වාර්තා වී ඇත්තේ පසුගිය ජූලි මාසයේදී වන අතර ඒ අනුව එම මාසයේදී මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් ප්‍රමාණය 29,964කි.


තවද නොවැම්බර් මාසයේ ගතවූ දින කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,577ක් වාර්තා වී ඇති බවද ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.


වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් රෝගීන් 81 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දී තිබේ.


මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශට පත් කිරීමටද ඩෙංගු මර්දන ඒකකය පියවර ගනු ලැබීය.


ඒ අනුව අද සිට එළැඹෙන 14 වැනි දින දක්වා මෙම විශේෂ ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක යන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.

 

More News..