brand logo
logo
දුම්රිය වර්ජනයෙන් කෝටි 4ක පාඩුවක්

දුම්රිය වර්ජනයෙන් කෝටි 4ක පාඩුවක්

19 September 2026 | එෆ්. අස්ලම්

දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ පැය 48 ක සංකේත වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි හතරකට අධික පාඩුවක් සිදුව ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.


ස්ථානාධිපතිවරු ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීමෙන්, ආසන වෙන් නොකිරීමෙන් හා පාර්සල් භාර නොගැනීමෙන් මෙම පාඩුව සිදුව තිබෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර සතිඅග අරුණට පැවසීය.


දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය නමින් වෘත්තීය සමිති 28 ක් එක්ව මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවේ පසුගිය 16 වැනිදා මධ්‍යම රාතියේ සිට සිකුරාදා (18 වැනිදා) මධ්‍යම රාත්‍රිය දක්වාය.


කෙසේ නමුත් දුම්රිය එන්ජින් රියැදුරන් පිරිසක්, වර්ජනයට සහාය නොදුන් නියාමකවරුන්ගේ සහ දුම්රිය පාලකවරුන්ගේ සහායෙන් දුම්රිය ධාවනය කළ අතර ඒ හේතුවෙන් වර්ජනය වූ දින දෙකෙහි ගමන්වාර 90 බැගින් ධාවනය කිරීමට හැකි විය. ඒ හේතුවෙන් දුම්රිය මගීන්ට දැඩි පීඩාවක් සිදු නොවීය.


සාමාන්‍ය දිනක සිදුවන ගමන්වාර 189/ 90 ක් මෙලෙස ධාවනය වී තිබූ බවද දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම්වරයා කියා සිටියේය.


මෙම වර්ජනය පැවැති අවස්ථාවේ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩි වේලාවක් දුම්රිය පාලක කාර්යාලයේ රැඳෙමින් මෙහෙයුම් කටයුතු කළ බවද ඒ හේතුවෙන් ධාවනය වූ දුම්රිය ප්‍රමාද හෝ අවලංගු වීමක් නොවූ බවද කී ලේකම්වරයා මේ ආකාරයෙන් පසුගිය කාලයේද කටයුතු කළේ නම් වර්ජනයකට පසුබිම සැකසුන දුම්රිය ප්‍රමාදයන් හෝ අවලංගුවීම් නොවීමට ඉඩ තිබූ බවද කීවේය.

 

More News..