brand logo
logo
උතුරෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියනය ඉක්මවයි

උතුරෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියනය ඉක්මවයි

27 September 2026


නාවික හමුදාව විසින් අද (27) අලුයම උතුරේ මාදගල් කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී අල්ලා ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 1.5ක් වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.


නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුමේදී සොයාගන්නා ලද මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.


ඒ අනුව මෙම මෙහෙයුමේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයේ මුළු ප්‍රමාණය කිලෝ 81කට ආසන්න බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ තුළ හෙරොයින් කිලෝ 35කට ආසන්න ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 45කට ආසන්න ප්‍රමාණයක් බවතින බවද සඳහන් කළේය.


එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ මෑත ඉතිහාසය තුළ උතුරෙන් අල්ලා ගන්නා ලද විශාලම මත්ද්‍රව්‍ය තොගයද මෙය වන බවය.


තවද 2025 වසරේදී නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුම්වලදී සොයාගනු ලැබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණයන්ගේ වටිනාකම රුපියල් බිලියන 75ක් පමණ වන බවද පැවසූ අමාත්‍යවරයා මෙම වසරේ මේ දක්වා කාලය තුළ සිදුකරන ලද මෙහෙයුම්වලින් සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයන් හී වටිනාකම රුපියල් බිලියන 56ක් බවද පැවසීය.


ලැබුණු බුද්ධි තොරතුරෙන් සිදුකළ වැටලීම ගැන නාවික හමුදාපති සිදුකළ හෙළිදරව්ව

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා පැවසුවේ උතුරු විධානයට ලද බුද්ධි තොරතුරක් අනුව නාවික නෞකා අග්බෝ ආයතනය සහ දියත් අංශය යන කණ්ඩායම් කිහිපය එක්ව මෙම වැටලීම සිදුකළ බවය.


ඒ අනුව අල්ලාගත් මෙම මත්ද්‍රව්‍ය තොගය යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහාය ඇතිව වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කළ බවද නාවික හමුදාපතිවරයා මෙහිදී සඳහන් කළේය.


නාවික හමුදාව මේ වන විට කණ්ඩායම් වශයෙන් මෙහෙයුම් කටයුතු සිදුකරන බවත් ඒ අනුව ඉදිරියේදී සිදුකරන මෙහෙයුම් තවත් දැඩිවනු ඇතැයිද නාවික හමුදාපතිවරයා මෙහිදී පැවසීය.


එමෙන්ම නාවික හමුදාව විසින් සිදුකරන මෙහෙයුම් සංකීර්ණ පරිසරයක සිදුවන බවත් නාවික හමුදාව ඉදිරියේදී මෙහෙයුම් කටයුතු සඳහා තාක්ෂණය උපයෝගී කර ගැනීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.


මේ සඳහා අවශ්‍ය කරන මෙවලම් මේ වන විටත් නාවික හමුදාවට ලැබෙමින් පවතින බවද පැවසූ නාවික හමුදාපතිවරයා ඒ අනුව ඉදිරියේදී පුළුල් ලෙස මෙහෙයුම් කටයුතු සිදුකරන බවද මෙහිදී අදහස් දක්වමින් පැවසීය.

 

More News..