brand logo
logo
හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී

11 November 2026


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (11) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව තිබේ.


2023 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියට ගිය අවස්ථාවට අදාළව රුපියල් මිලියන 16.6කට අධික රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව ගොනුකර තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් කර ඊට අදාළ විමර්ශන ගොනු සහ ලේඛන නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණි.


පසුගිය ඔක්තෝබර් 30 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති ලේකම්වරයා අධිකරණය හමුවේ පෙනී සිටි අතර, නීතිපතිවරයාගේ උපදෙස් සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු විමසීම සඳහා නඩුව අද දිනයේ යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.


ඒ අනුව නීතිපතිවරයාගේ ස්ථාවරය සහ නඩුව සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අද අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

 

More News..