නොරොච්චෝලේ විදුලි කප්පාදුවට ප්රමිතියෙන් තොර ගල්අඟුරු හේතුවක් නොවේ – නලින්ද
20 October 2026
නොරොච්චෝලේ විදුලි කප්පාදුවට ප්රමිතියෙන් තොර ගල්අඟුරු හේතුවක් නොවේ – නලින්ද
20 October 2026
නොරොච්චෝලේ විදුලි බලාගාරය සඳහා ප්රමිතියෙන් තොර ගල්අඟුරු භාවිත කිරීම හේතුවෙන් විදුලි කප්පාදුවකට යාමට සිදුවූ බවට පළවන චෝදනා සත්යයෙන් තොර බව අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස පවසයි.
අද (20) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී නැගුණු ප්රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්යවරයා මේ බව පැවසීය.
අමාත්යවරයා පැවසුවේ බලාගාරයේ ජනක යන්ත්ර 1 නඩත්තු කටයුතු සඳහා පසුගිය ජූලි මස සිට සැප්තැම්බර් මස 4 දක්වා කාලය තුළ වසා තැබූණු බවත් සැප්තැම්බර් 4 සිට මේ සඳහා භාවිත කරන ලද්දේ අලුතින් ගෙන ආ ගල් අඟුරු බවය.
මේ හේතුවෙන් නොරොච්චෝල බලාගාරය හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුවූ බවට පලවන වාර්තා ප්රතික්ෂේප කරමින් අමාත්යවරයා පැවසුවේ මෙම ජනක යන්ත්රය බිඳ වැටීම සම්බන්ධවද අභ්යන්තර පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බවය.
"නොරොච්චෝල බලාගාරයේ ජනක යන්ත්ර අංක 1 නඩත්තු කටයුතු සඳහා දින 61ක් වහලා තියලා. ඒ කියන්නේ ජූලි 30 ඉඳලා අගෝස්තු මාසයේත්, සැප්තැම්බර් මාසයේත් නඩත්තු කටයුතුවලට වහලා තියපු එකක් තමයි මේක. ඊළඟට මේ සැප්තැම්බර් 4 වෙනිදා ඉඳලා මේවායේ භාවිතා කරන්නේ අලුත් ගල් අඟුරු. ඒ නිසා ඔය චෝදනා කිසිවක් මේකට අදාළ වෙන්නේ නෑ. මොකද නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනක යන්ත්ර අක්රීය වීම කියන එක විටින් විට සිද්ධ වෙනවා. දැන් ඒක සම්බන්ධ කරනවා මේ ගල් අඟුරුවල ප්රමිතිය සම්බන්ධයෙන්. එහෙම ප්රශ්නයක් නෑ මොකද මේ ජනක යන්ත්රය මාස දෙකක් තිස්සේම නඩත්තු කටයුතු හේතුවෙන් වහලා තියපු එකක්. ඊට පස්සේ සැප්තැම්බර් 4 වෙනිදා ඉඳලා අලුත් නැව්වලින් එන ගල්අඟුරු තමයි භාවිතා වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා හෙටින් පසුව මේක යථා තත්ත්වයට පත්වෙයි කියලා. ඒ වගේම මේ පළවෙනි ජනක යන්ත්රය බිඳ වැටුණේ කොහොමද කියන එක සම්බන්ධයෙන් මේ වන විට අභ්යන්තර පරීක්ෂණයක් පැවැත්වෙමින් පවතිනවා."

