මහනුවරට මෙට්රෝ බස් සේවාව ව්යාප්ත කිරීමේ සැලසුම ඇරඹේ
15 October 2026
මහනුවරට මෙට්රෝ බස් සේවාව ව්යාප්ත කිරීමේ සැලසුම ඇරඹේ
15 October 2026
මහනුවර නගරය සහ තදාසන්න ප්රදේශ ආවරණය වන පරිදි මෙට්රො බස් රථ සේවාව ව්යාප්ත කිරීමේ සැලසුම යටතේ, යෝජිත බස් මාර්ග හඳුනා ගැනීමේ විශේෂ පරීක්ෂාවක් අද (15) ප්රවාහන හා මහාමාර්ග නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේන මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරිණි.
බස්නාහිර පළාත කේන්ද්ර කර ගනිමින් දැනට ක්රියාත්මක වන මෙට්රො බස් රථ සේවාව දිවයිනේ අනෙකුත් ප්රධාන නගර වෙත ව්යාප්ත කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව, මහනුවර සිට ගම්පොල දක්වා යෝජිත මාර්ගයේ පරීක්ෂණ ධාවනයක් සිදු කරමින් නව මෙට්රො බස් සේවාව සඳහා මාර්ග හඳුනා ගැනීමේ කටයුතු ආරම්භ කෙරිණි.
මහනුවර නගරයෙන් ආරම්භ වූ මෙම පරීක්ෂණ ධාවනය සේනානායක වීදිය, දළදා වීදිය, සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, මුල්ගම්පල, ගැටඹේ හන්දිය, ගලහ හන්දිය, පේරාදෙණිය, අඟුනාවල, ගෙලිඔය, වැලිගල්ල සහ කහටපිටිය හරහා ගම්පොල නගරය දක්වා සිදු කෙරිණි. එහි අවසානයේදී කණ්ඩායම ගම්පොල ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ පරිශ්රයට ළඟා විය.
කිලෝමීටර් 19කින් සමන්විත මෙම යෝජිත මාර්ගය මෙට්රො බස් රථ ධාවනයට සුදුසු පරිදි සංවර්ධනය කිරීම සහ ඊට අවශ්ය යටිතල පහසුකම් සැපයීම ද වැඩපිළිවෙළට සමගාමීව සිදු කිරීමට නියමිතය.
මෙම පරීක්ෂණ ධාවනයට පෙර, යෝජිත මහනුවර මෙට්රො බස් සේවා ව්යාපෘතිය ක්රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් නියෝජ්ය අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් මහනුවර පිහිටි මධ්යම පළාත් මාර්ග අමාත්යාංශ ශ්රවණාගාරයේදී පැවැත්විණි.
ඒ සඳහා පොලිස් රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් සහ අදාළ රාජ්ය ආයතන නියෝජිතයෝ සහභාගී වූහ.
ලංකා මෙට්රො ට්රාන්සිට් පෞද්ගලික සමාගම මේ වන විට බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්රික්ක කේන්ද්ර කර ගනිමින් මෙට්රො බස් රථ 122ක් යොදාගෙන මාර්ග හතක මගී ප්රවාහන සේවා ක්රියාත්මක කරයි.
ඉදිරි වසරවලදී මෙම නාගරික බස් රථ සේවාව මහනුවර, යාපනය සහ ගාල්ල යන නගර කේන්ද්ර කර ගනිමින් ව්යාප්ත කිරීමට ද සමාගම සැලසුම් කර තිබේ.
මෙම වැඩපිළිවෙළ හරහා නාගරික පොදු ප්රවාහන සේවාව වඩාත් කාර්යක්ෂම කිරීම සහ මහනුවර හා තදාසන්න ප්රදේශවල ජනතාවට පහසු ප්රවාහන සේවාවක් සැපයීම අපේක්ෂා කෙරේ.

