brand logo
logo
අපේ රටේ පිහිනුම් තටාක බොහොමයක් අනාරක්ෂිතයි

අපේ රටේ පිහිනුම් තටාක බොහොමයක් අනාරක්ෂිතයි

07 October 2026 | •සංවාදය - ශ්‍රියානි විජේසිංහ

අද බොහෝ දෙනා පිහිනීම ශරීර සෞඛ්‍යය උදෙසා මෙන්ම විනෝදාංශයක් වශයෙන්ද සිදුකරති. එහිදී පිහිනීමට භාවිත කරන්නේ ස්වභාවික ජල මූලාශ්‍රයක් නොව පිහිනුම් තටාකය. විශේෂයෙන්ම අද බොහෝ පාසල්වල පිහිනුම් තටාක ඇත. එමෙන්ම එම පාසල්වල පිහිනුම් ක්‍රීඩාවක් ලෙසින්ද පැවැත්වේ. එහෙත් අපේ රටේ ඉදිව ඇති බොහෝ පිහිනුම් තටාක නියමිත ප්‍රමිතියෙන් නොපවතින බවටද තොරතුරු වාර්තා වේ. ඒ නිසා විවිධාකාරයේ අනතුරු වීමේ වැඩි අවදානමක් ඇති බවද කියැවෙයි. එම නිසා ඒ අනතුරු වළක්වා ගැනීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමටද පසුගිය දිනවල සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළේය. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකයේ අනතුරු වැළැක්වීම සහ කළමනාකරණ අංශයේ ප්‍රධානී, ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග සමග "අරුණ" කළ සාකච්ඡාවකි මේ.


පිහිනුම් තටාක පවත්වාගෙන යන්නන් සඳහා මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට පහුගිය දිනවල සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කළා. අපි මුලින්ම ඒ ගැන කතා කරමු?

සෑම වසරකම පුද්ගලයන් 700-800ක් පමණ දියේ ගිලීමෙන් මරණයට පත්වෙනවා. මෙම දියේ ගිලීම් වාර්තා වන්නේ ගංගා, ඇළදොළ, මුහුද වගේ ස්ථානවලයි. නමුත් පිහිනුම් තටාකවල ගිලීම නිසා කිසියම් ප්‍රමාණයක් මිය යනවා. එවැනි මියයෑම් වාර්තා වුණත්, තටාකවලදී වන ගැන වාර්තා වෙන්නේ නැති තරම්. මිනිසා විසින්ම නිර්මාණය කරන ඒවා නිසා පිහිනුම් තටාක ආරක්ෂිතයි කියලයි බොහෝදෙනෙක් හිතාගෙන ඉන්නේ. එහෙම නැහැ. අපේ රටේ පිහිනුම් තටාක බොහොමයක් මේ වන විට අනාරක්ෂිත මට්ටමේ තිබෙන බව අපි කළ සොයා බැලීම්වලදී හෙළිවුණා. ඒ නිසා තටාකවල ගිලීමෙන් මිය යන හෝ අනතුරුවලින් තුවාල ලබන හෝ පුද්ගලයන්ගේත් ජීවිත රැකගැනීම සහ ජලයෙන් බෝවන රෝග පැතිරීම වළක්වා ගැනීම කියන අරමුණු ඇතිව අපි පිහිනුම් තටාක ආරක්ෂණ මාර්ගෝපදේශ හඳුන්වා දීමට කටයුතු කළා.

පිහිනුම් තටාක සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ සකස් කරන්න පාදක කරගත් කාරණා ගැනත් කතා කරමු?


ලංකා ජීවිතාරක්ෂක සංගමය සකස් කළ මාර්ගෝපදේශයත්, පිහිනුම් තටාක සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පවතින මාර්ගෝපදේශත් අධ්‍යයනය කරලා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දියේ ගිලීම් වැළැක්වීම සඳහා වන තාක්ෂණික කමිටුව දීර්ඝ ලෙස මෙය සාකච්ඡාවට ලක් කළා. කමිටුවේ අවසාන තීරණය වුණේ, මාර්ගෝපදේශය තටාකයට පමණක් සීමා නොකර තටාකය අවට පරිසරයේත් ආරක්ෂාව සැලසෙන අන්දමට සකස් විය යුතුයි යන්නයි.


පිහිනුම් තටාකයක් ඉදිකිරීමේදී සැලකිලිමත් විය යුතු විශේෂ කරුණු මොනවාද?

තටාකවල පවතින ගැඹුර අනිවාර්යයෙන්ම තටාකයේ පෙනෙන ස්ථානයක සටහන් කළ යුතුයි ඒ වගේම වැඩිහිටියන්ට සහ කුඩා දරුවන්ට වෙන වෙනම තටාක තිබිය යුතු වෙනව. වැඩිහිටියෙක්ට නම් තටාකයේ අඩි 4ක ගැඹුරක් තමයි තිබිය යුත්තේ. සාමාන්‍ය ජනතාවට විවෘතව පවතින සමහර තටාක අඩි 8-10ක් තරම් ගැඹුරු ඒවා බව අපි කළ සොයාබැලීම්වලදී අනාවරණය වුණා. එය ඉතා භයානක තත්ත්වයක්. පිහිනුම් තටාකයක ගැඹුර පමණක් නොවෙයි තටාකයේ පුරවා ඇති ජලයේ ප්‍රමිතිය, එම ප්‍රමිතිය මනිනු ලබන දර්ශක, ඒ සඳහා යොදවා ඇති කාර්ය මණ්ඩලයේ සුදුසුකම් සහ ඔවුන්ට ඇති පුහුණුව, ජලයේ ගුණාත්මකභාවය හා සනීපාරක්ෂාව පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග, ක්ලෝරීන් භාවිතයෙන් තටාකයේ ජලය පිරිසුදු කිරීම ආදී කාරණා ගණනාවක් පිළිබඳවම පිහිනුම් තටාකයක් ඉදිකිරීමේදී සැලකිලිමත් විය යුතුයි. මේ කාරණා ඇතුළුව තවත් කරුණු ගණනාවක්ම අපි අර මාර්ගෝපදේශවලට ඇතුළත් කරලා තියෙනවා.


තටාකයෙන් පිටත ආරක්ෂාව සහ සනීපාරක්ෂාව පවත්වා ගැනීම සඳහා දී තිබෙන උපදෙස් පිළිබඳ මතක් කිරීමක් කරන්න පුළුවන්ද?

තටාකයට බැසීමට පෙර ස්නානය කිරීම සඳහා ආරක්ෂිත ස්ථානයක් සකස් කිරීම අත්‍යවශ්‍යයි. තටාකයට ඇතුළු වන දොරටුව ලිස්සන සුළු නොවන ආරක්ෂිත දොරටුවක් වීම, ආරක්ෂිත ආවරණයකින් තටාකය වටා ආවරණය වී තිබීම, අනතුරකට පත්වන පුද්ගලයන් රෝහල්ගත කිරීමට පෙර ප්‍රථමාධාර දීම සඳහා ආරක්ෂිත කුටියක් පවත්වාගෙන යාම, තටාකය තුළදී යම් පුද්ගලයකුට අනතුරක් වූ විට ඔහුව ගොඩටගැනීම සඳහා පුහුණු පිහිනුම්කරුවන් සහ ඒ සඳහා අවශ්‍ය උපාංග තිබීම, තටාකය එළිමහනක පැවතීම, තටාකයේ නීති දැක්වෙන පුවරුව තටාකයට පිවිසෙන ස්ථානයේ පැහැදිලිව ප්‍රදර්ශනය කළ යුතු වීම, එය තටාකයේ සිට සහ තටාකය අවට වේදිකාවේ සිට පහසුවෙන් දැකගත හැකි විය යුතු වීම ආදිය ඉතාම වැදගත්. ඒ වගේම විවිධ සංකේත භාවිත කරමින් පවා ජනතාවට පණිවිඩ ලබාදීමට කටයුතු කළ යුතු බවත් අපි මාර්ගෝපදේශවල සඳහන් කරලා තියෙන්නේ.

ලිස්සනසුළු මතුපිට, තටාකයේ ගැඹුර වැනි අවදානම් තත්ත්වයන් පිළිබඳව පුවරු මගින් තටාකය පාවිච්චි කරන පුද්ගලයන් දැනුම්වත් කිරීම ඉතාම වැදගත්. මෙම පුවරු සාමාන්‍යයෙන් කහ පැහැති පසුබිමක කළු පැහැති අකුරු සහ සංකේත යොදාගෙනයි සකස් කළ යුද්ධයේ අනතුරු පවතින ස්ථානවල එවැනි පුවරු උපායමාර්ගිකව සවි කළ යුතු යි වගේම පවතින අනතුරේ ස්වභාවයත් එහි පැහැදිලිව දැක්විය යුතුයි.


ඔබ ඔය කියන මාර්ගෝපදේශ වැඩිපුරම අදාළ වෙන්නේ මොන වගේ ස්ථානවල පවත්වාගෙන යන තටාක සඳහාද?

විනෝදාස්වාදය සඳහා සාමාන්‍ය ජනතාව භාවිත කරන තටාක, නිවාසවල පවත්වාගෙන යන තටාක, පාසල් ළමුන් භාවිත කරන තටාක, ක්‍රීඩා ඉසව් සඳහා භාවිත කරන තටාක ආදිය කෙරෙහි අපි වැඩි වශයෙන්ම අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම මෙහිදී සඳහන් නොකළ අනෙකුත් සියලු අවශ්‍යතා වෙනුවෙන් ඉදිකළ තටාක සඳහාත් අපේ මාර්ගෝපදේශවල තියෙන කාරණා අදාලයි. ඒවා පිළිපැදීම මගින් විය හැකි අනතුරු ප්‍රමාණය අවම කරගන්න පුළුවන්.

දියේ ගිලී මිය යෑම වැනි අනතුරු ගණනාවක් පිහිනුම් තටාක ආශ්‍රිතව වන බව ඔබ මුලින්ම කිව්වා. ඒ සම්බන්ධයෙන් කතා කළොත්?

ලිස්සා යාම නිසා සිදුවන අනතුරු, තාප ආඝාත, ශ්වසන ගැටලු, සමේ ආසාදන, විජලනය වැනි අනතුරු ගණනාවක් වෙන්න පුළුවන්. මෙවැනි අනතුරු ඇතිවීමට බලපාන හේතු පිළිබඳ කතා කිරීමේදී, සමහර තටාකවල ජලයේ ගැඹුර ක්ෂණිකව වෙනස් වීම හේතුවෙන් ගිලී යාම් වැඩි වශයෙන් වාර්තා වෙනවා. ඒ වගේම ප්‍රමාණවත් අධීක්ෂණයක් නොමැතිකම, ලිස්සන සුළු මතුපිට, අකුණු ගහන අවස්ථාවලදී පිහිනුම් කටයුතුවල නිරත වීම, මත්පැන් පානය, දුර්වල පිහිනුම් හැකියාව, නුසුදුසු තටාක සැලසුම්කරණය හා නඩත්තුව, තටාකයේ ජලය නිසි ලෙස ජීවාණුහරණය නොකිරීම හේතුවෙන් ඇතිවිය හැකි බැක්ටීරියා ආසාදන යනාදිය ප්‍රධාන වශයෙන් හඳුනාගන්න පුළුවන්. මේ කාරණා පිළිබඳව පිහිනුම් තටාක පාවිච්චි කරන පිරිස ඉතා අවධානයෙන් පසුවීම වැදගත්.

පිහිනුම් තටාක පාවිච්චි කරන ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මොන වගේ ක්‍රියාමාර්ගද ගත යුතුව තිබෙන්නේ?

සියලුම පිහිනුම් තටාකවලට ඇතුළු වන ස්ථානයේ ළමුන් ඇතුළත් කිරීමේ ප්‍රතිපත්ති ප්‍රකාශය පැහැදිලිව ප්‍රදර්ශනය කළ යුතුයි. මහජනතාවට විවෘත පිහිනුම් තටාක සඳහා ප්‍රවේශපත්‍ර අලෙවි කරනවා නම් එම ස්ථානයේදීත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රදර්ශනය කරන්න පුළුවන්. තටාකයේ හිමිකරු හෝ ක්‍රියාකරු විසින් ළමුන් ඇතුළත් කිරීමට පෙර ඒ ළමයින්ගේ මව්පියන් හෝ භාරකරුවන්ට මෙම ප්‍රතිපත්ති පිළිබඳව දැනුම්වත් කිරීමක් කළ යුතුයි. සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් පුවරු හෝ දැන්වීම් ප්‍රදර්ශනය කිරීමත් අනිවාර්යයි සෑම විටම මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම අත්‍යවශ්‍යයි. මව්පියන් හෝ භාරකරුවන් විසිනුත් පිහිනුම් තටාකය තුළදී දරුවා නිතරම අධීක්ෂණය කළ යුතු වෙනවා. වැඩිහිටියන් හෝ භාරකරුවන් සෑම විටම දරුවාට ළඟා විය හැකි දුරකින් සිටීමත් වැදගත්. තටාක හිමිකරු විසින් ළමයින්ට ජීවිතාරක්ෂක කබා සැපයීම අනිවාර්ය නොවණත්, ඔවුන් ඒවා සපයනවා නම්, නිතිපතා ඒ ජීවිතාරක්ෂක කබා පරීක්ෂාවකට ලක් කරලා ඒවා භාවිතයට සුදුසු බවත් තහවුරු කළ යුතුයි.

පිහිනුම් තටාක අවට අනිවාර්යයෙන් ජීවිතාරක්ෂකයන් සිටිය යුතු බව කියැවෙනවනේ. ඔවුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් ගෙන තිබෙන තීන්දු තීරණ මොනවද?

සුදුසුකම් ලත් ජීවිතාරක්ෂකයෙක් අවම වශයෙන් වයස අවුරුදු 16වත් සම්පූර්ණ කර තිබිය යුතුයි. පිළිගත් ආයතනයකින් වසරක වලංගු කාලයක් සඳහා ජීවිතාරක්ෂක සහතිකයක් ගෙන තිබීමත් අනිවාර්යයි මෙම ජීවිතාරක්ෂක සහතිකය සෑම වසරකම අලුත් කර ගත යුතු වෙනවා. මේ වගේ කරුණු ගණනාවක්ම අපි නිකුත් කළ මාර්ගෝපදේශය තුළ සඳහන්ව තිබෙනවා.

පිහිනුම් තටාක ප්‍රදේශය නිරන්තරයෙන් නිරීක්ෂණය කර ආරක්ෂාව තහවුරු කිරීම, උපකරණ පරීක්ෂා කිරීම සහ ජලයේ ගුණාත්මකභාවය නිරීක්ෂණය කිරීම, අපහසුතාවට පත් පිරිස බේරා ගැනීම, ප්‍රථමාධාර ලබා දීම සහ අවශ්‍ය නම් හදිසි සේවා සමග සම්බන්ධිකරණය වීම ආදී කාර්යයන් ගණනාවක්ම ජීවිතාරක්ෂකවරයෙක්ට පැවරී තිබෙනවා. මීට අමතරව ජීවිතාරක්ෂකයෙකුගේ කාර්යය පහසු කිරීම සඳහා ඔහුට අවශ්‍ය උපකරණ හා ආම්පන්න මොනවාද යන්න පිළිබඳවත් මාර්ගෝපදේශය තුළ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පිහිනුම් තටාක පවත්වාගෙන යන්නන්ට අදාළව හඳුන්වා දුන් මාර්ගෝපදේශ මේ වනවිට ක්‍රියාත්මක වෙනවද?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාකාරී කමිටුව සකස් කළ මාර්ගෝපදේශ මාලාව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් පිටුවේ පළ කරලා තියෙනවා. ඊට අමතරව අපි පිහිනුම් තටාක හිමිකරුවන් ලිඛිතව දැනුම්වත් කරන්නත් කටයුතු කරනවා. ඒ හැරුණු කොට, මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් දැනුම්වත් කිරීමට මාධ්‍යයටත් විශාල වගකීමක් තියෙනවා කියලා මම හිතනවා. අපි මාධ්‍ය හරහාත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අවශ්‍ය දැනුම්වත් කිරීමේ කටයුතු කරන්න සැලසුමක් හදලා තියෙන්නේ.

මොනතරම් මාර්ගෝපදේශ නිකුත් කළත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වෙනවාද කියලා පසු විපරමක් නොකළොත් වැඩක් නෑනේ. ඔය කියන මාර්ගෝපදේශ සම්බන්ධයෙන් එවැනි පසු විපරමක් තියෙනවද?

පාසල්වල තියෙන පිහිනුම් තටාක අපේ මාර්ගෝපදේශවලට අනුකූලවද ක්‍රියාත්මක වෙන්නේ කියලා හොයලා බලන්න පුලුවන්. සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සෑම පාසලකම ක්‍රියාත්මක කරන සෞඛ්‍ය වැඩසටහන හරහායි අපි ඒක කරන්නේ. හෝටල් සහ අනෙකුත් ස්ථානවල තිබෙන පිහිනුම් තටාක ගැන කතා කළොත්, පළාත් පාලන ආයතනය තුළදී හෝටල් බලපත්‍රය වාර්ෂික අලුත් කරනවනේ. අන්න ඒ වෙලාවට ඒ අදාල හෝටල්වල හිමිකරුවන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබා දී තිබෙන මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක කරන්නවාද යන්න හොයලා බලන්න කියලා අපි අදාළ ආයතන දැනුම්වත් කරලා තියෙනවා.කොහොම නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්‍රියාකාරී කමිටුව වසරකට වරක් මාර්ගෝපදේශ සමාලෝචනය කරලා යාවත්කාලීන කරන්නත් බලාපොරොත්තු වෙනවා.


 

More News..