brand logo
logo
ගුරුවරියකගේ රුවට වෙනත් රුවක් බද්ධ කළ සිසුවා අධිකරණයට

ගුරුවරියකගේ රුවට වෙනත් රුවක් බද්ධ කළ සිසුවා අධිකරණයට

11 June 2024 | මනුසත් සේරසිංහ - කුලියාපිටිය

කුලියාපිටිය ප්‍රදේශයේ පාසලක ගුරුවරියකගේ මුහුණ වෙනත් නිරුවත් ඡායාරූප සඳහා සංස්කරණය කර සමාජ මාධ්‍ය සමූහයන්ට උඩුගත (upload) කළ බව කියන එම පාසලේම සිසුවකු කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් අද (11වැනිදා) නියම කෙරිණි.


වැලිපැන්නගහමුල්ල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි සිසුවාට අවවාද කරමින් අදාළ සේයාරූ වෙනත් සංස්කරණයන්ට භාජනය නොකරන ලෙසත් සාක්ෂිවලට කිසිදු බලපෑමක් නොකරන ලෙසත් එසේ කළ බවට වාර්තා වුවහොත් ඇප අවලංගු කර නීතිකෘත්‍ය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.


සැකකරු මෙම ඡායාරූප Facebook හා telegram නැමැති සමාජ මාධ්‍යවල කාමූක දසුන් සහිත සමූහවලට මුදාහැරීමෙන් අදාළ ගුරුවරිය දැඩි අපහසුතාවකට පත්ව සියදිවි හානි කර ගන්නා අවධානමක් පවා පවතින බවත් අධිකරණයට බී වාර්තාවක් මගින් ඉදිරිපත් කර තිබිණි.


එමෙන්ම එසේ මුදාහැරි දසුන් නැරඹූ ඇතැම් පිරිස් ගුරුවරිය අමතා ඇති අතර ගුරුවරිය එවැන්නක් සිදුව ඇති බව දැනගෙන තිබුණේ ඒ අනුව බවත් පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.


එහෙත් සැකකරුගේ නීතිඥවරුන් කියා සිටියේ එම සමූහයන්ගේ වගකීම් බාරගත නොහැකි බවත් මෙම නඩුවේ සාක්ෂි ලෙසින් ඉදිරිපත් කර ඇති අයද ඉතා අඩු වයසේ අය බවද පෙන්වා දෙමින් සැකකරු ඇපදානය කරන ලෙස ඉල්ලා සිටියහ.

 

More News..