ශ්රී ලංකා - පාකිස්තාන දෙවැනි තරගයේ දෙවැනි දිනය අද
18 November 2026
ශ්රී ලංකා - පාකිස්තාන දෙවැනි තරගයේ දෙවැනි දිනය අද
18 November 2026
ශ්රී ලංකාව සහ පාකිස්තානය් අතර රාවල්පිණ්ඩි හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය ඊයේ (17 වැනිදා) නිමාවන විට පාකිස්තානය කඩුලු 3ක් දැවී ලකුණු 121ක් රැස් කරගෙන ශ්රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 23ක් ඉදිරියෙන් පසු වූ අතර ශ්රී ලංකා පළමු ඉනිම ලකුණු 98කට සීමා වීම කැපීපෙනුණි. අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් දිනය නියමිත කාලයට පෙර නතර කිරීමට විනිසුරුවරු තීරණය කළහ.
තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්රී ලංකාවට ආරාධනා කළ අතර එහිදී නායක කුසල් මෙන්ඩිස් සහ සොනාල් දිනූෂ හැර සෙසු කිසිදු පිතිකරුවකුට සාර්ථක වීමට පාකිස්තාන පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ. ඉනිමේ පළමු කඩුලු 5ම ලකුණු 36කට දැවී යද්දී, 6 වැනි කඩුල්ලට එක්වූ කුසල් සහ සොනාල් ලකුණු 49ක සබඳතාවක් ගොඩ නැගූහ. මෙහිදී කුසල් ලකුණු 32ක් සහ සොනාල් ලකුණු 21ක් රැස් කළහ. පන්දුවාර 35.3ක් පමණක් ක්රියාත්මක වූ ශ්රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් පකිස්තාන පන්දු යවන්නන් සිව්දෙනකු පමණක් භාවිත කෙරිණි. එහිදී මොහොමඩ් අබ්බාස්, රසාඋල්ලාහ් සහ අමෙර් ජමාල් කඩුලු 3 බැගින් දවාගනිද්දී සකිබ් ඛාන් එක් කඩුල්ලක් දවාගත්තේය.
අනතුරුව සිය පළමු ඉනිම ආරම්භ කළ පාකිස්තානය, සුපුරුදු පරිදි ආරම්භක පිතිකරුවෝ සාර්ථක ආරම්භක සබඳතාවක් ගොඩනගමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 80ක් රැස් කළහ. පළමු කඩුල්ල ලෙස ටයියබ් අරිෆ් ලකුණු 46කට දැවී ගිය අතර දෙවැනි කඩුල්ල ලෙස මොහොමඩ් තාහා ද, තෙවැනි කඩුල්ල ලෙස නායක බාබර් අසාම් ද ලකුණු 8 බැගින් ලබා දැවී ගියහ. දිනය නිමාවන විට ආරම්භක පිතිකරු අසාන් අවයිස් නොදැවී ලකුණු 47ක් ද, සැඳෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි සකිබ් ඛාන් නොදැවී ලකුණු 2ක් රැස් කරගෙන සිටියහ. ශ්රී ලංකාව වෙනුවෙන් මිලාන් රත්නායක, අසිත ප්රනාන්දු සහ ප්රභාත් ජයසූරිය එක් කඩුල්ල බැගින් දවාගත්හ.
තරගයේ දෙවැනි දිනය අද (18 වැනිදා) මෙරට වේලාවෙන් පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතය.


