නව රජයක් පිහිටුවීමට නෙතන්යාහුගේ ප්‍රතිවාදියාට ඊශ්‍රායල ජනපතිගෙන් ඇරයුම්
08 November 2026
නව රජයක් පිහිටුවීමට නෙතන්යාහුගේ ප්‍රතිවාදියාට ඊශ්‍රායල ජනපතිගෙන් ඇරයුම්
08 November 2026
නව රජයක් පිහිටුවීම සඳහා අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ප්රබලතම දේශපාලන ප්‍රතිවාදියා වන ගාඩි අයිසන්කොට් (Gadi Eisenkot) නම් කිරීමට එරට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
ඒ ඊශ්‍රායලයේ පැවැති මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශ්වයකට පැහැදිලි බහුතර බලයක් හිමි නොවීම හේතුවෙන් ඇතිවූ දේශපාලන අර්බුදය මධ්‍යයේ ය.
පසුගිය සෙනසුරාදා ජනාධිපති අයිසැක් හර්සොග් විසින් මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව නව රජයක් පිහිටුවීම සඳහා අයිසන්කොට්ට දින 28ක කාලයක් හිමි වේ. අවශ්‍ය නම් එම කාලය තවත් දින 14කින් දීර්ඝ කළ හැකිය.
ඔක්තෝබර් 27 වැනිදා පැවැති මැතිවරණයෙන් නෙතන්යාහුගේ ආගමික හා ජාතිකවාදී සන්ධානයට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වුවද, තනි විශාලතම දේශපාලන කණ්ඩායම ලෙස ඉදිරියට පැමිණීමට එම සන්ධානය සමත්ව තිබේ.
කෙසේ වෙතත්, නෙතන්යාහුගේ ලිකුඩ් පක්ෂයට ආසන 27ක් හිමිව ඇති අතර, ඔහුගේ සමස්ත සන්ධානයට හිමිව ඇත්තේ ආසන 53ක් පමණි.
එරට ආසන 120කින් සමන්විත පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීම සඳහා ආසන 61ක් අවශ්‍ය වේ.
මේ අතර, ගාඩි අයිසන්කොට්ගේ යෂාර් පක්ෂය ආසන 21ක් ලබාගනිමින් දෙවැනි විශාලතම පක්ෂය බවට පත්ව තිබේ.
ඔහුට සහාය දක්වන මධ්‍ය-වාමාංශික සිට දක්ෂිණාංශික දක්වා වූ යුදෙව් පක්ෂ හතරක සන්ධානයට හිමිව ඇත්තේ ආසන 48කි.
ඊශ්‍රායලයේ අරාබි සුළුතරය නියෝජනය කරන පක්ෂ දෙකකට ආසන 19ක් හිමිව තිබීම ද මෙවර මැතිවරණයේ විශේෂත්වයකි.
අයිසන්කොට් අරාබි දේශපාලන පක්ෂ සමඟ සන්ධානගත වීම ප්‍රතික්ෂේප කර තිබුණ ද, නෙතන්යාහුගේ සහ ඔහුගේ අන්ත දක්ෂිණාංශික සහචරයන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විරෝධය පළ කරන අරාබි නායකයන් ඔහුට සහාය පළ කර තිබේ.
ඒ අනුව නව රජයක් පිහිටුවීම සඳහා වැඩිම දේශපාලන සහයෝගයක් හිමි අපේක්ෂකයා බවට අයිසන්කොට් පත්ව ඇත.
නව රජයක් පිහිටුවීම සඳහා ඔහුට විකල්ප කිහිපයක් පවතින නමුත්, ඒවා සාර්ථක වීමේ ඉඩකඩ අවම බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
අරාබි පක්ෂවල ඡන්ද සහාය ලබාගනිමින් සුළුතර රජයක් පිහිටුවීම, අන්ත ඕතඩොක්ස් යුදෙව් පක්ෂ සමඟ සන්ධානගත වීම හෝ නෙතන්යාහු සමඟ ජාතික එකමුතු රජයක් පිහිටුවීම එම විකල්ප අතර වේ.
අයිසන්කොට්ට රජයක් පිහිටුවීමට නොහැකි වුවහොත් වෙනත් අපේක්ෂකයෙකුට එම අවස්ථාව හිමිවන අතර, එම ක්‍රියාවලිය ද අසාර්ථක වුවහොත් පාර්ලිමේන්තුවට තවත් අපේක්ෂකයෙකු නම් කළ හැකිය.
දින 100ක පමණ කාලසීමාවක් තුළ කිසිවෙකුට රජයක් පිහිටුවීමට නොහැකි වුවහොත් නැවත මැතිවරණයක් පැවැත්වීමට සිදුවනු ඇත.
වයස අවුරුදු 66ක් වන අයිසන්කොට් ඊශ්‍රායලයේ හිටපු හමුදා ප්‍රධානියෙකු වන අතර, ඔහු 2022 වසරේදී දේශපාලනයට පිවිසියේය.
2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව නෙතන්යාහුගේ යුද කැබිනට් මණ්ඩලයේ කෙටි කලක් සේවය කළ ඔහු පසුව විපක්ෂයට එක්විය.
ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් කළමනාකරණය කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් නෙතන්යාහුගේ නායකත්වය විවේචනය කර ඇති අයිසන්කොට්, ඔහු සමඟ කිසිදු රජයක සේවය නොකරන බවට ද ප්‍රතිඥා දී තිබේ.
එමෙන්ම, පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් සිදුකරන ප්රචණ්ඩ ක්‍රියා ද අයිසන්කොට් විවේචනය කර ඇත.
එවැනි ක්‍රියා 2023 වසරේ සිට ඉහළ ගොස් ඇති අතර, එය බටහිර රටවල් සමඟ ඊශ්‍රායලයේ සබඳතාවලට ද බලපෑම් එල්ල කර තිබේ.
නෙතන්යාහුගේ අන්ත දක්ෂිණාංශික සන්ධාන හවුල්කරුවන් වන ඉටමාර් බෙන්-ග්වීර් සහ බෙසලෙල් ස්මොට්‍රිච්ගේ දේශපාලන ස්ථාවරයන්ට ද අයිසන්කොට් විරෝධය පළ කරයි.
පලස්තීනුවන්ට එරෙහි ප්රචණ්ඩත්වය උසිගැන්වීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට බටහිර රටවල් කිහිපයක් සම්බාධක පනවා තිබේ.
මොරොක්කෝ සම්භවයක් සහිත පවුලක උපත ලැබූ අයිසන්කොට් බලයට පත්වුවහොත්, මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු සම්භවයක් සහිත යුදෙව් ප්‍රජාව නියෝජනය කරමින් ඊශ්‍රායලයේ අගමැති ධුරයට පත්වන පළමු පුද්ගලයා බවට පත්වනු ඇත.

