brand logo
logo
ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6,268ක් හඳුනාගනී

ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6,268ක් හඳුනාගනී

11 June 2026

තෙදින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනේදී පරීක්ෂාවට ලක්කළ පරිශ්‍ර 97,871ක් අතරින් පරිශ්‍ර 6,268ක ඩෙංගු මදුරු කීටයන් හඳුනාගෙන තිබේ.


පසුගිය 08 වැනිදා ආරම්භ වූ මෙම වැඩසටහන දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 72ක් ආවරණය කරමින් ක්‍රියාත්මක වූ අතර, එය ඊයේ (10) අවසන් විය.


ජාතික ඩෙංගු මර්දන ඒකකය අද (11) නිකුත්කළ වාර්තාවට අනුව, පරීක්ෂාවට ලක්කළ පරිශ්‍රවලින් 25,626ක් හෙවත් සියයට 26.2ක් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවදානම් පරිශ්‍ර ලෙස හඳුනාගෙන ඇත.


එමෙන්ම පරිශ්‍ර 6,268ක හෙවත් සියයට 6.4ක ඩෙංගු මදුරු කීටයන් සිටින බව තහවුරු වී තිබේ.


වාර්තාවේ දැක්වෙන්නේ කර්මාන්තශාලා සහ ඉදිකිරීම් බිම් ආශ්‍රිතව වැඩිම ඩෙංගු මදුරු කීට ප්‍රතිශතයක් වාර්තා වී ඇති බවයි. 

පරීක්ෂාවට ලක්කළ කර්මාන්තශාලා පරිශ්‍රවලින් සියයට 32.9ක සහ ඉදිකිරීම් බිම්වලින් සියයට 21.8ක මදුරු කීටයන් හඳුනාගෙන ඇත.


මේ අතර නිවාස 89,417ක් පරීක්ෂා කිරීමේදී නිවාස 5,250ක මදුරු කීටයන් සිටින බව සොයාගෙන තිබේ.


මදුරුවන් බෝවන ලෙස පවත්වාගෙන ගිය පරිශ්‍ර 21,025ක් එම අවස්ථාවේදීම පිරිසිදු කිරීමට පියවර ගෙන ඇති අතර, නීතිමය උපදෙස් ඇතුළත් රතු නිවේදන 3,348ක් නිකුත් කර ඇත.


තවද සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කළ පරිශ්‍ර හිමියන් 2,401 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද කටයුතු කර තිබේ.

මෙම වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, රාජ්‍ය නොවන සංවිධාන, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්වී ගෙයින් ගෙට ගොස් පරිශ්‍ර පරීක්ෂා කිරීම, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගැනීම, රතු නිවේදන නිකුත් කිරීම සහ ධූමායන කටයුතු සිදු කර තිබේ.


විශේෂ මදුරු මර්දන වැඩසටහන්වලට පමණක් සීමා නොවී තම නිවස සහ අවට පරිසරය නිරන්තරයෙන් පිරිසිදුව තබාගෙන මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට වගකීමෙන් කටයුතු කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

More News..