brand logo
logo
දිට්වා ආපදාවෙන් විපතට පත් බදුල්ලේ පවුල් 248කට වන්දි

දිට්වා ආපදාවෙන් විපතට පත් බදුල්ලේ පවුල් 248කට වන්දි

20 August 2026 | කැලුම් ගුණතිලක - මොනරාගල


“දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් බදුල්ල කොට්ඨාසයේ අර්ධ හානි වූ නිවාස සඳහා වන්දි චෙක්පත් ලබා දීම (20) වෙනිදා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදුකෙරිණි.


එහිදී බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආපදාවට ලක්වූ සුදුසුකම් ලත් පවුල් 244 ඇතුළුව පූර්ණ,අධි අවදානම් සහ අර්ධ හානි ලැබූ ප්‍රතිලාභීන් 248 දෙනෙකු සඳහා මෙහිදී චෙක්පත් ප්‍රදානය සිදු කෙරිණි. මේ සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් ලක්ෂ 835කි. සම්පූර්ණයෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් හිමිවන අතර,නව නිවසක් මිලදී ගැනීම සඳහා පවුල් දෙකක් වෙනුවෙන් කෝටියක මුදලක් ලබාදෙන ලදි. ඊට අමතරව රුපියල් ලක්ෂ 20ක මුදලක් පළමු වාරිකය ලෙස පවුල් දෙකක් සඳහා ද,දෙවැනි වාරිකය ලෙස රුපියල් ලක්ෂ 15 මුදලක් පවුල් දෙකක් සඳහාද ලබා දෙන ලදි.


අර්ධ වශයෙන් හානි වූ නිවාස අලුත්වැඩියාව සඳහා පවුල් 24 වෙත රුපියල් ලක්ෂ 02 බැගින් පිරිනැමූ අතර,තක්සේරුවකින් තොරව, නිලධාරී තහවුරු කිරීම් මත පදනම්ව රුපියල් ලක්ෂ 5 දක්වා ලබාදෙන ආධාර සඳහා පවුල් 205ක සුදුසුකම් ලබා ඇත.එහි පළමු පියවර ලෙස රුපියල් ලක්ෂ 3ක මුදලක්ද ලබා දෙන ලදි.


ඊට අමතරව තක්සේරු සිදු කර වන්දි ලබා ගන්නා නිවාස 13 චෙක්පත් ප්‍රදානය කෙරිණි.


මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න ,බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ,බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එම් චමින්ද වීරසිංහ,බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති පාලිත ජයවර්ධන,ප්‍රාදේශීය ලේකම් තුෂාරි අනුරාධා යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රතිලාභීහු සහභාගී වූහ.

 

More News..