''අධිකරණය ලබාදෙන තීරණ නීතිය පිළිබඳ නිවැරදි තීරණ ලෙස අපි සලකනවා''- ජනපති
18 October 2026
''අධිකරණය ලබාදෙන තීරණ නීතිය පිළිබඳ නිවැරදි තීරණ ලෙස අපි සලකනවා''- ජනපති
18 October 2026
අධිකරණ පද්ධතිය මගින් ලබාදෙන තීරණ රටේ නීතිය පිළිබඳ නිවැරදිම තීරණ වන බවත්, එම සියලු තීරණවලට රජයක් ලෙස තමන් යටත් වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අධිකරණය ලබාදෙන තීන්දුවලින් ඔබ්බට වෙනත් තීරණ තමාගෙන් බලාපොරොත්තු වී පළක් නොමැති බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
අද (18) බදුල්ල දිස්ත්රික් කාන්තා සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ නීතියේ අවසන් වගවිභාගය සිදුකරන්නේ අධිකරණය වන බවය.
එමෙන්ම ශ්රේෂ්ඨාධිකරණය මගින් යම් තීන්දුවක් දුන් පසු එය ඉවත් කරන ලෙස ඉල්ලා කෑගැසීමෙන් පළක් නැති බවත්, ඉන් නීතියේ ආධිපත්යය පවත්වාගෙන යා නොහැකි බවත් එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.
එනිසා නීතිය ක්රියාත්මක කිරීමට අවශ්ය පූර්ණ බලය අදාළ ආයතන වෙත ලබා දී ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
නීතියේ සමානාත්මතාවක් නොමැති රටක අනාගත පරපුරට ආරක්ෂාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, නීතිය ඉදිරියේ සැමදෙනාම සමාන විය යුතු බවත්, මෙතෙක් කල් තමන් වෙත නීතිය ක්රියාත්මක නොවනු ඇතැයි සිතූ අය වෙතට පවා මේ වන විට නීතිය ක්රියාත්මක වෙමින් පවතින බවත් සඳහන් කළේය.
එමෙන්ම ලෝකයේ ප්රබලතම ශ්රම වෙළෙඳපොළට ගැළපෙන පරිදි නිර්මාණශීලී දරුවෙකු බිහිකිරීම සඳහා පැරණි ඒකාකාරී අධ්යාපන ක්රමය වෙනස් කළ යුතු බව ද මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසීය.
ඒ සඳහා පාසල්වලට අවශ්ය තාක්ෂණික සහාය ලබා දී ඇති අතර ඉදිරියේදී එම කටයුතු වඩාත් පුළුල් කරන බවත්, පාසල් 6,000කට අධික සංඛ්යාවකට මේ වන විට අධිවේගී ෆයිබර් තාක්ෂණික සබඳතා ලබාදීමට කටයුතු කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මේ අතර නීතිය බිඳවැටීමේ ප්රතිඵලයක් ලෙස මත්ද්රව්ය සහ පාතාලය මේ දක්වා ව්යාප්ත වූ අතර දේශපාලන රැකවරණ මත ඒවා පවත්වාගෙන ගිය බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
සිය රජය යටතේ එවැනි ක්රියාදාමයන්ට කිසිදු අවස්ථාවක් නොමැති අතර, මත්ද්රව්ය සහ පාතාලය මුලිනුපුටා දැමීම සිය රජයේ අපේක්ෂාව වන බවද ජනාධිපතිවරයා පැවසීය.
එමෙන්ම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා ක්රියාත්මක කළ විශේෂ මෙහෙයුම් මගින් හෙරොයින් කිලෝ 2,484ක්, අයිස් කිලෝ 3,301ක් සහ කොකේන් කිලෝ 297ක් පොලිස් භාරයට ගෙන ඇති බවද ජනපතිවරයා මෙහිදී අනාවරණය කළේය.
T-56 ගිනිඅවි 93ක්, පිස්තෝල 141ක් සහ රිවෝල්වර් 105ක් ද පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති අතර, රට අනාගත පරපුරට ආරක්ෂිත තැනක් කිරීමට නම් මත්ද්රව්ය සහ පාතාලය මෙරටින් මුළුමනින්ම තුරන් කළ යුතු බව ද ජනපති අවධාරණය කළේය.
ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජාතික ජන බලවේග ආණ්ඩුව කිසිදු කුමන්ත්රණයකට ගොදුරු නොවන බවත්, ජාතිවාදයට හෝ ආගම්වාදයට ඉඩ නොතබා ජාතික සමගිය හා ආගමික සංහිඳියාව සහිත රටක් ගොඩනගන බවත්ය.
එමෙන්ම මහජන දේපළ සොරකම් කළ සහ වංචා දූෂණවලට සම්බන්ධ සියලුදෙනාට එරෙහිව නීතිය ක්රියාත්මක කර, අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත්, කුමන්ත්රණකාරී බලවේගවලට රට විනාශ කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

