brand logo
logo
ගංවතුර ගැන අපි හදපු දත්ත මධ්‍යස්ථානයමේ ආණ්ඩුව ස්වර්ණාභරණ ආයතනයට කුලියට දීලා

ගංවතුර ගැන අපි හදපු දත්ත මධ්‍යස්ථානයමේ ආණ්ඩුව ස්වර්ණාභරණ ආයතනයට කුලියට දීලා

10 November 2026 | සංවාදය - වරුණි පෙරමුණ


පසුගිය 6 වැනිදා කොළඹ නගරයේ ඇති වූ හදිසි ජල ගැලීමට ප්‍රධාන හේතුව කොළඹ නගරයේ කානු පද්ධතිය නිසි පරිදි නඩත්තු නොකිරීම බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක කියයි. බලධාරීන්ගේ සහ නගර සභාවේ අකාර්යක්ෂමතාව හා නොසැලකිලිමත්කම හේතුවෙන් එම තත්ත්වය ඇති වූ බැවින්, ඊට අදාළ සියලු පාර්ශ්ව වගකීම භාරගත යුතු බවද ඔහු අවධාරණය කරයි. ඉතිහාසයේ කිසිම දිනයක කොළඹ ජාතික රෝහල ජලයෙන් යට වී නොමැති බව පෙන්වා දෙන ඔහු, 'ක්ලීන් ශ්‍රී ලංකා' ව්‍යාපෘතිය යටතේ කොළඹ ඇළ මාර්ග පිරිසුදු කිරීමක් කර නොමැති බවට ද චෝදනා නගයි. ඒ ගැන මෙන්ම, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ (2015-2019), මෙට්‍රෝ කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරයේ ගංවතුර පාලනය සඳහා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව පාඨලී චම්පික රණවක සමඟ "අරුණ" කළ සාකච්ඡාවයි මේ.


පසුගිය වැසි සමයත් සමග කොළඹ, මහනුවර හා අවිස්සාවේල්ල ආදී ස්ථානවල ඇති වුණු ජල ගැලීම් යනු ගංවතුරක් නොවෙයි කියා ඔබ පවසන්නේ කුමන පදනමකින්ද?


මේ ඇතිවුණු වැසි නිසා, කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාමක් හෝ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමක් හෝ නිසා කිසිදු ගං වතුර තත්ත්වයක් ඇති වෙලා නැහැ. ඒ අනුව උද්ගත සිදුවීම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හෝ මහවැලි අධිකාරියට චෝදනා කරන්න අවශ්‍ය නැහැ.


කොළඹ නගරය ගත්තම කොළඹ නගරයේ තිබෙන ප්‍රධාන ඇළ මාර්ග වන ශාන්ත බස්තියන් ඇළ මාර්ගය, වැල්ලවත්ත ඇළ මාර්ගය, කටු ඇළ ආදී ඇළ මාර්ග පාලනය කරන්නේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින්. මේ කිසිදු ඇළ මාර්ගයක කිසිදු පිටාර යාමක් මේ පසුගිය දිනවල ඇතිවුණු වර්ෂාව හේතුවෙන් සිදුවෙලා නැහැ. ඒ කියන්නේ ඉඩම් සංවර්ධන සංස්ථාවට අදාළ ඇළ මාර්ග පිළිබඳව කිසිදු ගැටලුවක් සිදුව නැහැ.


එසේනම් මොකක්ද සිදුවුනේ?


සිදුවෙලා තිබෙන්නේ කොළඹ මහනගර සභාව විසින් නඩත්තු කරන, කොළඹ මහ නගර සභාව විසින් සංවර්ධනය කළ යුතු කානු පද්ධති සම්පූර්ණයෙන්ම අවහිර වීම හා ඉතා අපහසුවෙන් ගොඩනගන ලද නව කානු පද්ධති, පදික වේදිකා ආදී දේවල් ඉතාම බරපතළ විදිහට පසුගිය වසර දෙකක කාලය තුළ අවහිර වීමයි.


ආණ්ඩුවට අනුව ඉතා කෙටි කාල පරාසයකදී මිලිමීටර 129ක වැස්සක් වැටීම කොළඹට ඔරොත්තු නොදුන් අයුරක් තමයි කියැවුනේ. නගරාධිපතිතුමිය කිව්වා මිලිමීටර් 30කට වඩා වැස්ස වැටෙන එක කොළඹට ඔරොත්තු දෙන්නේ නැහැ කියල.


කොළඹ සියලුම ඇළ මාර්ග සංවර්ධනය කර තිබෙන්නේ පැයකට මිලිමීටර් 120 ක වර්ෂාපතනයකට මුහුණදීමටයි. එය එතුමිය කිව්ව ප්‍රමාණය මෙන් හතර ගුණයකට ඔරොත්තු දෙන තරම්. ඒ පැයකට නේ. දිනකට ගත්තොත් මිලිමීටර් 476කට ඔරොත්තු දෙන විදිහටයි මේවා සැකසී ඇත්තේ. එවැනි පරිමාණයේ වැස්සක් මේ පසුගිය කාලවකවානුවේ ඇති වුණේ නැහැ. එහෙමනම් ඉතාම පැහැදිලියි, නගර සභාවේ වගකීම මෙන්ම ජනාධිපතිවරයාගේ 'ක්ලීන් ශ්‍රී ලංකා' ව්‍යාපෘතියත් වචනයට පමණක් සීමාවෙලා තිබෙන බව.


නගරාධිපතිතුමිය ඊයේ පෙරේදා කියනවා හැට පොළක් හොයාගත්තලු අවහිර වුණු ස්ථාන. කාගෙද වැරැද්ද? වැරැද්ද ඒ නගර සභාවේ. එක පැත්තකින් නාගරික කොමසාරිස් ඇතුළු අදාළ පිරිස, අනිත් පැත්තෙන් ආණ්ඩු පක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ, මාලිමාවේ අය. ඒ අය පිළිගන්නවා නම් හැට තැනක් අවහිර වෙලා කියලා. ඒවා සුද්ද නොකරපුවගේ වගකීමත් එයාලම බාරගන්න ඕන.


රටේ වෙළෙඳ අගනගරයේ ජල අපවහන පද්ධතිය ගැන අවුල වත්මන් ආණ්ඩුව පිට පමණක් පටවන්න පුළුවන්ද?


මේකටත් 76 වසරක ඉතිහාසයට බැනලා වැඩක් නැහැ. දැන් මේ අය රට බාරගෙන අවුරුදු 2 කට ආසන්නයි. මේවාට සම්පූර්ණයෙන්ම වර්තමාන ආණ්ඩුව වගකිව යුතුව තිබෙනවා. මේ වතුරින් ව්‍යාපාර අතිවිශාල ප්‍රමාණයක් විනාශ වෙලා තිබෙනවා. වාහන අතිවිශාල ප්‍රමාණයක් විනාශ වෙලා. පුද්ගලික දේපළ අතිවිශාල ප්‍රමාණයකට හානි වෙලා. එහි වගකීම මේ නගර සභාව භාර අරගෙන ඒ සියලු දෙනාටම වහාම වන්දි ලබා දිය යුතුයි. බොරුවට තමන්ගේ වැරැදි වහගන්න අතීතයට බැනලා වැඩක් නැහැ.


2010 පාර්ලිමේන්තුව යට වුණා. අපි සියලු දෙනාටම මතකයි පාර්ලිමේන්තුව යට වෙලා විශාල විනාශයක් වුණා. ඊට පස්සේ ලෝක බැංකුව මැදිහත් වෙලා 2011 දී මේ ගංවතුර පාලනය පිළිබඳ සියලුම ආයතන එකතු කරගෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් සභාව, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, නගර සභා මේ සියල්ල ඒකට එකතු කරගෙන නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ව්‍යාපෘතියක් දියත් කළා.


මම මේ ටික කියන්නේ මොකද මේ අය අද කතා කරන්නේ කිසිම දෙයක් පෙර ආණ්ඩු යටතේ කරලා නැහැ වගෙයි. කොළඹ මහ නගර සභා බලප්‍රදේශය සඳහා මෙට්‍රෝ කොළඹ අර්බන් ඩිවලොප්මන්ට් ප්‍රොජෙක්ට් (Metro Colombo Urban Development Project) එක යටතේ විශේෂ ක්‍රියාවලියක් දියත් කළා. ඒ දියත් කළ ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ යම් ප්‍රමාණයකට කළා, විශේෂයෙන්ම මේ ඩුප්ලිකේෂන් පාරේ. නමුත් අමාරු ව්‍යාපෘති සියල්ලම සිදුවුණේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පාලන කාලයේදීයි, ඒක අපේ අමාත්‍යාංශයෙන් තමයි කළේ.


මොනවද ඒ යටත් ඔබ සිදුකළ දේවල් සහ ඒවායේ වත්මන් තත්ත්වය?


පළවෙනි දේ තමයි නාගලගම් වීදියේ සහ ඒ අවට කලාපයේ ගංවතුර පාලනය සඳහා ඇළ මාර්ගය සම්පූර්ණයෙන් පිළිසකර කළා, ඇළ මාර්ගයේ දෙපස සිටි පැල්පත් වාසී සියලු දෙනාටම නිවාස ඉදි කළා, පොම්පාගාරයක් ඇති කළා.


පසුගිය දිට්වා සුළි කුණාටු වෙලාවේ මම එහෙ ගියා. පොම්පාගාරයේ කිසිම ඉංජිනේරුවෙක් හිටියේ නැහැ. බැළලියක් පැටව් දාලා හිටියා. එහි වැඩ කරන ආරක්ෂක නිලධාරීන් ඔවුන්ට කන්න දෙමින් හිටියා. ඊළඟට මම ආවා අපි ඉදි කළ තවත් පොම්පාගාරයක් වුණු ශාන්ත සෙබස්තියන් ඇළේ පොම්පාගාරයට. එම ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරියාට උපදෙස් දීලා තිබුණා මෙය ඔටෝ ඔපරේෂන් (ස්වයංක්‍රීය මෙහෙයුම්) එකට දාන්න කියලා. ඒ අනුව ඔහු ඔටෝ ඔපරේෂන් එකට දාලා එළියට වෙලා හිටියා. කිසිදු නිලධාරියෙක් එහි හිටියේ නැහැ. මම මේ කියන්නේ ගරු අනුර කුමාර දිසානායක මහත්මයාගේ සහ ඔහුගේ ආණ්ඩුවේ අයගේ කතාවල තත්ත්වය.


ඒ වගේම අපි තවත් විශාල පොම්පාගාරයක් ඉදිකර තියෙනවා ඔළුවුල්ලේ. කාටත් ගිහින් බලන්න පුළුවන් පෑලියගොඩ. එතැනට විශාල සංවර්ධනයක් කරලා ඔළුවුල්ලේ පොම්පාගාරය හදලා තියෙනවා. දැන් කිසිසේත්ම කිරිබත්ගොඩ නගරය, පෑලියගොඩ ගංවතුරට යටවන්නේ නැහැ. ඒ වගේම කොළොන්නාවේ තවත් පොම්පාගාරයක් හදලා තියෙනවා. මෙන්න මේ විදියට ඉතාම බරපතළ වැඩ කොටසක් අපි කර තිබෙනවා. අද ආණ්ඩු කරන අය ඒ කාලේ ඕවට විරුද්ධව පෙළපාලි ගියා.


කොළඹට එකතුවන ජලය උමං මාර්ග හරහා ඉවත් කිරීමේ වැඩපිළිවෙළකුත් එකල ක්‍රියාත්මක වුණා නේද?


විශේෂයෙන්ම නොරිස් කැනල් එක හරහා ගිහිල්ලා උතුරු කොළඹට වැටෙන ඉතාම අපහසු උමන් මාර්ගයක් හැදුවා ඕලන්ද යුගයෙන් පස්සේ. ඊළඟට විශේෂයෙන්ම නිදහස් චතුරශ්‍රයේ ඉඳන් බෞද්ධාලෝක මාවත දිගේ තවත් උමන් මාර්ගයක් හැදුවා බම්බලපිටියෙන් මුහුදට වැටෙන්න. තව උමන් මාර්ගයක් අපේ හිටපු කථානායක එම්. එච්. මොහොමඩ් මහත්මයාගේ, නිවාස පද්ධතියේ පටන් දේවි බාලිකා විද්‍යාලය හරහා කටුවැල්ලට දැම්මා. තවත් උමන් මාර්ගයක් කින්සි පාර ඔස්සේ අරන් ඇවිල්ලා ඩී. එස්. සේනානායක විද්‍යාලය හරහා එතැන ඇළ මාර්ගයට එකතු කළා. ඒ අවස්ථා හැම එකකදීම අපි කොළඹ නගර සභාවට කිව්වා මේ පොඩි පහේ උමන් නෙවෙයි මෝටර් රථයක් ඇතුලෙන් යන්න පුළුවන් ප්‍රමාණයේ ඒවා. ඒ නිසා මේවට එකතු වෙන කානු පද්ධති නිසි ආකාරයෙන් නඩත්තු කළ යුතුයි කියලා. නමුත් අද වනවිට ඒ කිසිවක් නඩත්තු නොවී ඇති බව කින්සි පාර ඇතුළු ඒ කලාපයේ සිදු වෙච්ච ජලගැලීම්වලින් අපිට මනාව පැහැදිලි වුණා. ඉතින් ඒ නිසා කිසිසේත්ම මේකට කිසිම ආකාරයකට ඉඩම් සංවර්ධන සංස්ථාව වග කිවයුතු නෑ. ව්‍යාපෘති 26ක් අනුමත ගත්තා, 11ක් ක්‍රියාත්මක කළා, අනෙක්වා කිසිවක් මේ අවුරුදු දෙකේ ක්‍රියාත්මක කරලා නැහැ.


ඒ වගේම මේ ගංවතුර තත්ත්වය නීරීක්ෂණය කරන්න අපි ඩේටා සෙන්ටර් (Data Center) එකක් හැදුවා. අද ඒ ඩේටා සෙන්ටර් එක මැණික් හා ස්වර්ණාභරණ ආයතනයට කුලියට දීලා තියෙන්නේ කීයක් හරි හොයාගන්න.


කොළඹ විතරක් නොවෙයි, මහනුවරත් යටවුණා. ඒ ඇයි?


අපි යෝජනා ක්‍රමයක් ආරම්භ කළා දුනුමඩලාවෙන් උමගක් ගෙනත් බෝගම්බර ක්‍රීඩාංගණය හරහා, ඒක මැද ඇළට ගෙනියන්න. මෙතන තියෙනවා හරියටම මීටර් පන්සියයක්. මේ මීටර් පන්සියය මේ මුළු අවුරුදු දෙකටම හදාගන්න බැරුව අනුර කුමාර දිසානායක දඟලනවා.


මොකද්ද ප්‍රතිඵලය? දුම්රිය ස්ථානය යට වෙනවා, මහනුවර ජාතික රෝහලත් යට වුණා. මොකද එතැනින් විශාල ජල කඳක් එළියට එනවා, එන්නේ නාගරික සංවර්ධන අධිකාරිය ඉස්සරහා ඒ වටරවුමේ තියෙන ඒ හිඩැසින්. ඉතින් මෙන්න මේවා ඉතාම පුංචි වැඩ. මේවා මහවැලිය වගේ මෙගා ව්‍යාපෘති නොවෙයි. මේවා පුංචි වැඩ. මේ පුංචි වැඩක්වත් මේ කට්ටියට කරගන්න බැහැ. හැබැයි අනුන්ට බනින එක නම් අඛණ්ඩවම කරගෙන යනවා.


 

More News..