brand logo
logo
තේ මිල පහළට

තේ මිල පහළට

28 April 2025 | සාලිය කුමාර ගුණසේකර

මෙරට තේ වෙන්දේසියේ තේ කිලෝවක මිල ඉකුත් වසරට (2024) සාපේක්ෂව මේ වසරේ පළමු මාස තුන තුළදී රුපියල් 107 කින් පහත වැටී තිබෙන බවත්, පවතින ආර්ථික තත්ත්වය මත තේ මිල දිගින් දිගටම පහළ වැටුණහොත් කර්මාන්තය පවත්වාගෙන යාමේ අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වන බවත් වතු සමාගම් සඳහන් කරයි.


තේ වෙන්දේසියේදී තේ කිලෝවක් රුපියල් 1,100 කට පමණ අලෙවි කෙරුණද, තේ කිලෝවක නිෂ්පාදන වියදම ඊට සමාන බවද එම සමාගම් නියෝජිතයෝ පවසති.


කෙසේ නමුත් වතු කම්කරුවකුගේ වැටුප සියයට 35 කින් ඉහළ දැමීමට වතු සමාගම් කටයුතු කළ බවද වතු සමාගම් සඳහන් කරයි.


වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1350 වැටුපට අමතරව නිෂ්පාදිත ධාරිතාවය අනුව තවත් රුපියල් 350 ක් උපයා ගැනීමට අවස්ථාව සලසා ඇතැයිද වතු සමාගම් සඳහන් කරයි.


වතු කම්කරුවකු දිනකට තේ දලු කිලෝග්‍රෑම් 18 ක් පමණ නෙළන බවත්, උනන්දුවෙන් සිය රාජකාරිය කරන වතු කම්කරුවකු දිනකට තේ දලු කිලෝ 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් නෙළන බවද වතු සමාගම් නියෝජිතයෝ කියා සිටිති. ඔවුන් දිනකට රුපියල් 2,000 ත් 3,000 ත් අතර දෛනික වැටුපක් උපයා ගන්නා බවද ඔවුහු පවසති.


වැඩ නොකරන වතු කම්කරුවන්ට රුපියල් 1,350 ක දෛනික වැටුපට අමතරව දන්සලක් ලෙස තවත් මුදලක් ලබාදීමට වතු සමාගම්වලට නොහැකි බවද වතු සමාගම් නියෝජිතයෝ කියා සිටිති.


රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය රුපියල් 27,000 ක අවම වැටුපක් ගෙවනු ලැබූවද, වතු සමාගම් වතු කම්කරුවන්ට රුපියල් 33,750 ක අවම මාසික වැටුපක් ලබාදෙන බවද එම සමාගම් කියයි. ඉකුත් 2024 වසරේ සිටම දිනකට රුපියල් 1,350 ක වැටුපක් වතු කම්කරුවන්ට ලබාදෙන බවද සමාගම් සඳහන් කරයි.


කුඩා තේ වතුවල සේවයේ නිරත වතු කම්කරුවකුට තේ දලු කිලෝවක් සඳහා ගෙවනු ලබන්නේ රුපියල් 50 ක් බවත්, ඔවුන්ට දිනකට රුපියල් 1,500 ක ආදායමක් ඉපැයීමට කිලෝ 30 ක තේ දලු ප්‍රමාණයක් නෙළාගත යුතු බවද වතු සමාගම් නියෝජිතයෝ පවසති. එමෙන්ම, එක් එක් වතු කම්කරුවාට ඉඩම් කොටසක් වෙන්කරදී ඉන් නෙළා ගන්නා තේ දලු කර්මාන්ත ශාලාවලට සැපයීම සම්බන්ධවද තේ වතු සමාගම් දැනට වසර 10 ක කාලයක් තිස්සේ රජයන්ට යෝජනා කර තිබෙන බවද එම සමාගම් පවසයි.


ආණ්ඩුව ඉදිරිපත් කරන යෝජනා සහ වතු සමාගම් ඉදිරිපත් කරන යෝජනා අතර වෙනසක් නොමැති බවද වතු සමාගම් නියෝජිතයෙක් කියා සිටියේය. ඇමරිකා එක්සත් ජනපදය මෙරටට පනවන තීරු බද්දේ වැඩි බලපෑමක් තේ කර්මාන්තයට බල නොපාන බවත්, ඊට හේතුව ඇමරිකාවට මෙරටින් අපනයනය කරන තේ ප්‍රමාණය අඩු නිසා බවද වතු සමාගම් නියෝජිතයෙක් පැවැසීය.

 

More News..