අන්දමන් මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වන්නැයි ධීවරයින්ට දැනුම්දීමක්
21 September 2026
අන්දමන් මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වන්නැයි ධීවරයින්ට දැනුම්දීමක්
21 September 2026
අන්දමන් දූපත් ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත සියලුම බහුදින ධීවර යාත්‍රාවලට එම ප්‍රදේශයෙන් වහාම ඉවත් වී ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත ගමන් කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
අන්දමන් දූපත් ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී එම මුහුදු ප්‍රදේශයේ තද සුළං සහ රළු මුහුදු තත්ත්වයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ, අඩු පීඩන කලාපය ක්‍රමයෙන් බලවත් වී ඉන්දියාව දෙසට ගමන් කර ඉන්දීය ගොඩබිම වෙත ළඟාවීමේ ප්‍රවණතාවක් පවතින බවයි.
ඒ අනුව, අන්දමන් සහ උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිටින බහුදින ධීවර යාත්‍රා කඩිනමින් එම අඩු පීඩන කලාපයෙන් දුරස් වී දකුණු දිශාවට, එනම් ශ්‍රී ලංකාව දෙසට ගමන් කරන ලෙස දැනුම්දී තිබේ.
කෙසේ වෙතත්, තවදුරටත් එම ප්‍රදේශයේ බහුදින ධීවර යාත්‍රා කිහිපයක් ධීවර කටයුතුවල නිරත වන බව නිරීක්ෂණය වී ඇති බවත්, ඉදිරි දිනවල ඇතිවිය හැකි රළු මුහුදු තත්ත්වය සහ තද සුළං හේතුවෙන් එම යාත්‍රාවලට සහ කාර්ය මණ්ඩලවලට අනතුරු සිදුවිය හැකි බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.
මේ අතර, අඩු පීඩන කලාපයේ බලපෑම දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවලටද දැනිය හැකි බැවින්, කුඩා පරිමාණ ධීවර කටයුතුවල නිරත ධීවරයින් දෛනික මුහුදු තත්ත්වය සහ සුළඟේ වේගය පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසද දැනුම්දී තිබේ.
කෙසේ වෙතත්, පවතින තත්ත්වය මත දිවයින පුරා ධීවර කටයුතු තහනම් කිරීමට මෙතෙක් තීරණය කර නොමැති අතර, තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් පවතින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිකුත් කරන නවතම කාලගුණ නිවේදන සහ ආරක්ෂිත උපදෙස් අනුව මුහුදු යාම හෝ නොයාම තීරණය කරන ලෙස සියලුම ධීවරයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
එමෙන්ම මුහුදු යන අවස්ථාවේදී, ධීවර කටයුතුවල නිරත වන විට සහ නැවත වෙරළට පැමිණෙන අවස්ථාවේදී ජීවිත ආරක්ෂක කබා අනිවාර්යයෙන්ම පැළඳ සිටින ලෙසද ධීවරයින්ට දැනුම්දී ඇත.
අදාළ ප්‍රදේශයේ සිටින බහුදින ධීවර යාත්‍රාවල හිමිකරුවන්ට ගොඩබිම සිට දැනුම්දීම් සිදුකර ඇති අතර, ගුවන්විදුලි සන්නිවේදන උපකරණ හරහා යාත්‍රාවල කාර්ය මණ්ඩල වෙතද එම ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

