roadBlockAd
brand logo
logo
නුවර වැව් තාවුල්ලේ අභිමංසලත් කඩා දමනවාද?

නුවර වැව් තාවුල්ලේ අභිමංසලත් කඩා දමනවාද?

29 July 2025 | මිහිරි ෆොන්සේකා

ජාතික ජනබලවේග ආණ්ඩුවේ එකසිය පනස් නවය අතරින් මෙතෙක් නා නොගත් අයකුට සිටියේ නම් ඒ කේ.ඩී. ලාල් කාන්ත ඇමැතිවරයාය. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මාලිමාවේ දේශපාලනය සමග නොපෑහුණ පසමිතුරෝ පවා ලාල් කාන්ත සැලකුවේ මිතුරෙකු ලෙසය. ඔවුහු කවුරු ව්වේචනය කළ ද ලාල් කාන්ත විවේචනය නොකළහ. ඇත්ත වශයෙන් ඔහු මිතුරු පසමිතුරු හැමදෙනාගේම ගරු සම්මානය⁣ට පාත්‍ර වු සුහද මිතුරෙක් ⁣වූවේය.





ආණ්ඩුවේ බහුතරයක් කට වරද්දාගෙන නාද්දී ලාල් ⁣මේ සා කලක් නොතෙමී ඔළුව පරිස්සම් කරගෙන සිටියේය. ඒ නිසා ඔහුට කවදාවත් දේශපාලන උණක් සෙම්ප්‍රතිශ්‍යාවක් වැලඳුණේ නැත.


එනමුත් ඔහු ගිය සතියේ හොඳහැටි නා ගත්තේය. එය එසේ මෙසේ නෑමක් නොවේ. වැවකට පැන කළ නෑමකි. ලාල් කාන්ත පමණක් නොවේ. දෙතුන් සතියකට ඉහතදී මාලිමා මැති ඇමැතිවරු නුවර වැවේදීත් නා ගත්තෝය. නුවර වැවෙන් නා සෑහීමකට පත් නොවූ ආණ්ඩුව දෙවනුව පරාක්‍රම සමුද්‍රයෙන් ද නා ගත්තේය. කේ. ඩී. ලාල් කාන්ත ඇමැතිවරයා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකි. මහනුවර ජ.වි.පෙ. නායකයාය. ඒ නිසා ලාල්කාන්තට පෙර මාලිමාව නෑවේ දළදා මාලිගාව අබියස නුවර වැවෙන් යැයි වැරැදියට වටහා ගත යුතු නැත. ආණ්ඩුව නා ගත්තේ මහනුවර නුවර වැව ගැන නොව අනුරාධපුර නුවර වැව ගැන කතා කිරීමට ගොස්ය. ලාල්කාන්තගේ ගම අනුරාධපුරයය. ඔහු මුල් වරට පාර්ලිමේන්තුවට පත් වුණෙත් අනුරාධපුරයෙනි.


ගිය සතියේ මුළු රටම කතා කළේ වැව් රක්ෂිතවල ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කරන බවට ඔහු කී කතාවය. මේ සිද්ධිය මුලින්ම කියැවුණේ අනුරාධපුර නුවර වැව අරබයාය. නුවර වැව් රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් රැසක් ගැන අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී කතාබහට ලක්විය. ලාල්කාන්ත ඇමැතිවරයා රැස්වීමකදී වැව් ගැන කතා කළේය. වැවේ මායිම වැවට දිය යුතු බව කීවේය. දේශපාලනඥයන්, නිලධාරින් හා ගොවිජන සංවිධාන බලා සිටියදීම වැවට කෙළ වී ඇති බව පෙන්වා දුන්නේය. වැවට කෙළවීමට හේතුව ලෙස ඇමැතිවරයා පෙන්වා දුන්නේ වැව් රක්ෂිතයේ ඉදිකිරීම්ය. මේ ඉදිකිරීම් ඉවත් කිරීම අනුරාධපුරයෙන් පටන් ගන්නා බව කී ඇමැතිවරයා අවධාරණය කළේ ඉවත් කිරීමට පෙර වැව් තාවුලුවල සිටින අයට ඉන් ඉවත්වන ලෙසය. එසේ ඉවත්වන අයට කිසිදු වන්දි මුදලක් නොදෙන බවත් හරිනම් ඔවුන් රජයට වන්දි ගෙවිය යුතු බවත් කීවේය. ඒ අතරේ ආණ්ඩුවේ මැති ඇමැතිවරු පිරිසක් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට පාරක් සොයමින් නුවර වැව් කණ්ඩියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූහ. වැව් රක්ෂිතයේ ඉදිකිරීම් මෙන්ම වැව් කණ්ඩියේ වාහනවලින් යෑමද තහනම්ය. එනමුත් මන්ත්‍රින් වැව් කණ්ඩියේ ගියේ වාහනවලිනි.


මේ කතාබහ කරළියට එද්දී වැව් රක්ෂිත ගැන රටේ දැඩි ආන්දෝලනයක් ඇති වුණේ ලාල් කාන්ත ඇමැතිවරයා ඩඩ්ලිගේ හෝටලයක් ගැන කතා කිරීමෙන් පසුවය. ඩඩ්ලි කී විට අපට සිහිවන්නේ ඩඩ්ලි සේනානායකය. ඔහු රටට බත් දුන් පියාය. එනමුත් මේ ඩඩ්ලි බත් දුන් පියා නොව රටට හාල් දෙන පියා ය. මහා ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනය. ලාල්කාන්තගේ නිර්වචනය අනුව පරාක්‍රම සමුද්‍ර තාවුල්ලේ ඩඩ්ලිගේ සුදු අරලිය හෝටලයද අනවසර ඉදිකිරීම්ය.


ඩඩ්ලි, මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනපතිගේ බාල සොයුරෙකි. අරලිය හාලෙන් ව්‍යාපාර පටන් ගත් ඩඩ්ලි දැන් සරුසාර ප්‍රකෝටිපතියෙකි. සුපිරි හෝටල් ජාලයක හිමිකරුවෙකි. නුවරඑළිය ග්‍රෙගරි වැව් තාවුල්ලේ ග්‍රෑන්ඩ්, උණවටුන වෙරළේ වැල්ලේ දේවාල වැටේ අරලිය හෝටලයද ඔහුගේය. මේ හොටල් දෙකම හදන කාලේ විරෝධතා මතුවිය. ඒ කාලේ රට ක⁣ළේ මෛත්‍රිපාල සිරිසේනය. ඉතිං හිරු දුටු පිණි බිඳක් මෙන් එම විරෝධතා දිය වී යාම ගැන අප පුදුම විය යුතු නැත.


මේ හෝටල් දෙක අතහැර ලාල් කාන්ත කතා කළේ පරාක්‍රම වැව් තාවුල්ලේ සුදු අරලිය හෝටලය ගැනය. එහෙම කතා කිරීමට ලාල්කාන්තට ව්‍යවස්ථාදායකයෙන් හිමිකම් ලැබී තිබුණේය. ඔහු මාලිමා ආණ්ඩුවේ වාරිමාර්ග, ඉඩම් හා කෘෂිකර්ම ඇමැතිය. ලාල් කාන්ත කියන හැටියට සුදු අරලිය අනවසර ඉදිකිරීමකි. ඩඩ්ලි කොතරම් දළකාරයෙක් වුවත් ඔහුගේ හෝටලය ඉවත් කරන බව ලාල්කාන්ත සපථ කළේය. එනමුත් ලාල්ට වැරැදුණු තැනක් තිබුණේය. සුදු අරලිය හෝටලය ඉදිකළේ ඩඩ්ලි නොවේ. රජයය. සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ලංකා හෝටල් සංස්ථාවය. ඩඩ්ලි කළේ රජය හෝටලය විකුණද්දී මිලදී ගැනීමය.


සුදු අරලිය හෝටලය වැව් තාවුල්ලේ ඉදි කළ ද පොළොන්නරුව තානායමේ එක කාමරයක් ඉදි කර ඇත්තේ පරාක්‍රම සමුද්‍රයේය. රජය එය ඉදිකළේ එක්දහස් නවසිය පනස් හතරේ ලංකාවට ගොඩබට එළිසබත් මහ රැජනගේ පොළොන්නරුව ගමන වෙනුවෙනි. එදා ඈ සැතපුණු සයනයට අදටත් ඇත්තේ ලොකු මිලකි. ඉල්ලුමකි. රැජන රැය පහන් කළ සයනයේ රැයක් ගත කිරීමට පො⁣ළොන්නරුව තානායමට එන්නෝ බොහෝය. සුදු අරලිය හෝටලය ඉදිකිරීම වැරැදියි නම් පොළොන්නරුව තානායම ද කඩා ඉවත් කිරීමට ලාල් කාන්ත ඇමැතිවරයාට සිදු වනු ඇත. සර් ජෝන් කොතලාවල අගමැතිවරයා ජීවතුන් අතර නැති නිසා ඔහුට, මහින්දානන්ද අලුත්ගමගේ මෙන් හිරේ යාමට සිදු නොවනු ඇත. රැජන වෙනුවෙන් මේ කාමරය ඉදි කළේ සර් ජෝන්ගේ නියමයෙනි. එමතු නොවේ. සර් ජෝන් මියගිය නිසා ඔහු තවත් නඩුවකින් බේරුණේය. ලංකාවේ මුල්ම ජල විදුලි බලාගාරය හැදුවේ ඔහු වැඩ ඇමැතිව සිටි කාලයේය. බලාගාරය හදා ඔහු මුලින්ම කළේ සිරිපාදේට විදුලිය දී එය සිහිවන්නට එක විදුලි බල්බයක් රත්මලානේ සිය ගෘහය වූ ‘‘කඳවල වලව්වේ’’ ඉදිරිපස සවි කිරීමය. අදටත් ඒ බල්බය වලව්ව ඉදිරිපස තිබේ. අද සර් ජෝන් සිටියා නම් රජයේ මුදල් අවභාවිත කර සිරිපාදේට විදුලිය දීම, එම බල්බයක් ගෙදර ගෙනගිය නිසා නඩු පැවැරෙනු ඇත.


කොතලාවල මළ ද මැරි මැරී දිවිගෙවන පිරිසක් නුවර වැව් තාවුල්ලේ ඉදි කළ අභිමංසලේ ජීවත් වෙති. මේ අභිමංසලද නීතිවිරෝධී ඉදිකිරීමක් නිසා එයද කඩා බිඳ දමන බවට කතාබහක් ඇතිවිය. මේවායේ ප්‍රතිකාර ලබන්නේ රට වෙනුවෙන් ඇස්, ඉස්, මස්, දන් දී සදාකාලීකව ඇඳට වැටුණු සෙබළුය. ඒ අතරේ අවසන් සටනේ සිටි සෙබළු බොහෝය. කොටින්ම කියනවා නම් ප්‍රභාකරන් මරා දමා මේ රට මර බියෙන් මුදාගත් බළසේනාධිපති ද සිටියේ අනුරපුරේ අභිමංසලේ ප්‍රතිකාර ලබමිනි. ඔහු බ්‍රිගේඩියර් ලලන්ත ගමගේය. කොමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් නිලධාරියකු වූ බ්‍රිගේඩියර් ගමගේ ප්‍රභාකරන් මරා දැමූ 681වැනි බළසේනාධිපතිය. ඔහුට ඒ ගෞරවය දුන්නේ එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂය. දෙදහස් නවයේ අගෝස්තු හත් වැනිදා, ගාල්ල රිච්මන්ඩ් විදුහලේ පැවැති රණවිරු උපහාර උළෙලේ ප්‍රධාන අමුත්තා වූයේ ගෝඨාභය රාජපක්ෂය. "යුද හමුදාවේ බළසේනාධිපතිලා හැට හැත්තෑවක් සිටියද ප්‍රභාකරන් මරා දැමූ බළසේනාධිපති ඔබේ පාසලේ ලලන්ත ගමගේ’’ යැයි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඔහුට ලොකුම චරිත සහතියක් දුන්නේ සිසුන් කන් බිහිරි වන තරම් ගැසූ අත්පොළසන් මැදය.


එදා මුලතිව් වෙල්ලිමුල්ලිවයික්කාල් වගුරු බිමේ දණක් එරෙන කළල් දියේ බැස ගොස් ලලන්ත ගමගේලා ප්‍රභාකරන් නොමැරුවේ නම් අද අනුර කුමාර දිසානායක ජනපතිට අඩු ආරක්ෂාවක් යටතේ මේ සා සරල ලෙස ජීවත් වීමට ඉඩ ලැබෙන්නේ නැත. අනුරට පමණක් නොව ලාල් කාන්තට ද එය අදාළය. අප සැමට අදාළය. දෙකෝටි පනස් ලක්ෂයකට හුස්ම ගැනීමට යුද බිමට ගිය සමහරුන්ගේ දැන් ඉණෙන් පහළ පණ නැත. තවත් පිරිසකගේ අතපය නැත. හිසට සුෂුම්නාවට වූ බරපතළ හානි නිසා ඔත්පල වුවෝ බොහෝය ඔවුන්ට කල්පනාව නැත. කතා කිරීමට බැරිය. කන් ඇහෙන්නේ නැත. ⁣ඇවිදීමට බැරිය. ලෙඩ ඇඳේ පණ අදිනවාට වඩා රණබිමේදී මිය ගියේ නම් ඔවුන්ගේ ආත්මය සුවපත් වී බොහෝ කල්ය.


යුද්ධයෙන් ආබාධිත වූ මේ සෙබළුන් රැක බලා ගැනීමට මුලින්ම ආරම්භ කෙරුණේ රාගම රණවිරු සෙවණය. සිව් වැනි ඊළාම් යුද්ධයේදී පූර්ණ ආබාධිත තත්ත්වයට පත් සෙබළුන් ඉහළ යාම නිසා ඔවුන් රැක බලා ගැනීමට මධ්‍යස්ථාන තව කීපයක් ඉදි කෙරැණි. රත්මලාන මිහිඳු සෙත් මැදුර හා අනුරාධපුර, කුරුණෑගල, අකුරැස්ස යන ප්‍රදේශවල ඉදිකළ ඒම ස්ථාන අභිමංසල එක, දෙක, තුන යනුවෙන් නම් කෙරුණි. අකුරැස්ස කඹුරුපිටිය පාරේ අභිමංසලද ඉදිකළේ විල්පිට වැව් තාවුල්ලේය. අභිමංසල 3 ඇත්තේ කුරුණෑගල හඳපාන්ගලය. මේ ස්ථාන පාලනය කෙරෙන්නේ යුද හමුදාවේ පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලයෙනි.


මේ සෑම අභිමංසලක් ඉදිකිරීමේදී සැලකිල්ලට ගත් මූලික කාරණාව වූයේ පරිසරයය. ඊට හේතුව වුයේ අතපය අහිමිව වාරු නැතිව සිටින සෙබළුන්ට නිවී සැනසිල්ලේ කාලය ගත කිරීමට වටපිටාව හැදීමය. කිසිවක් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන්ගේ මානසික පීඩනය වැඩි බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. ලෙයින් මසින් හැදුණුු අපි කවුරුත් මනුෂ්‍යයෝය.


මේ හේතුවෙන් අභිමංසල සැලසුම් කිරීමේදී විශේෂඥ උපදෙස් අනුව එය ඉදිකෙරුණේ විශේෂ අවශ්‍යතා ඇති අයට පහසුවක් වන ලෙසය. හුදකලා නිවාස, රෝහල, ආයුර්වේද මධ්‍යස්ථාන, භෞතික චිකිත්සාගාර, බැඩ්මින්ටන් පිටි, ගෘහස්ත ක්‍රීඩාංගණ, ශරීර සුවතා මධ්‍යස්ථාන, පිහිනුම් තටාක, භෝජනාගාරවලින් අභිමංසල සමන්විතය. මේ පහසුකම් ගැන කියවන විට ඔබගේ මනස් සිතුවම් ඇඳෙනු ඇත්තේ තරු පහේ හෝටලයකි. එනමුත් මේ පහසුකම් ඇත්තේ සැප පහසුව පිණිස නොවේ. රෝගී වූ සෙබළුන් සුවපත් කිරීම පිණිසය. පිහිනුම් තටාක ඇත්තේ ජල චිකිත්සාවට මිසක් විවේක සුවයෙන් සිටීමට චතුරේ බැසීමට නොවේ.


ආබාධිත සෙබළුන්ගේ පවුලේ සාමාජිකයන්ට තම ඥාතියා සමග ස⁣තුටු සාමීචියේ යෙදෙමින් ගෙදර සේ සිටීමට අභිමංසලේ තනි නිවාසවල ඉඩ සලසා තිබේ. බරපතළ තුවාල ලබා ඇති සෙබළු අභිමංසලේ රෝහලේ නේවාසිකව සිටියද අනෙක් සෙබළුන් සිටින්නේ මේ නිවාසවලය.


රටපුරා අභිමංසල් තුනක් ඇතැත් දැන් කතාබහට ලක්ව ඇති අභිමංසල ඇත්තේ අනුරාධපුරයේය. හරියටම කියනවා නම් අනුරාධපුර තිරිකුණාමලය පාරේ පුල්ලෙයාර් හන්දියෙන් දකුණට ඇති පාරේ මීටර් දෙතුන් සීයක් ගිය විට හමු වන නුවර වැව් තාවුල්ලේය. මේ අභිමංසල ගැන කතාබහට ලක් වන්නේ එය ඉදිකර ඇත්තේ නුවර වැවේ අධිරක්ෂිත කලාපයේ වීම නිසාය. වැව් රක්ෂිත ගැන ලාල්කාන්තගේ නිර්වචනය අනුව එයද නීතිවිරෝධී ඉදිකිරීමකි. එය ඉදිකරනු ලැබුවේ දෙදහස් එකොළහේ ජූලි විසි හයවැනිදාය. නුවර වැව් තාවුල්ලේ අභිමංසල ඉදි කිරීමට එකල කිසිදු බාධාවක් ඇති වූයේ නැත. ඒ, එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ආශිර්වාදය මේ ඉදිකිරීමට තිබූ නිසාය. අභිමංසල ඉදිකිරීමටත් පෙර ඉදිකළ පුල්ලේයාර් කෝවිලත් ඇත්තේ නුවර වැව අසලය. වැවේ උපරිම ජල ධාරිතාවේදී මුලින්ම යට වෙන්නේ පුල්ලෙයාර් කෝවිලය. නුවර වැව් තාවුල්ලේ ⁣ඇති නිවාස ඇතුළු මේ සියල්ල පෙර ඉදිකිරීම්ය. එම ගොඩනැගිලි සියල්ලටම විදුලිය මෙන්ම ජල පහසුකම්ද තිබේ. පළාත් පාලන ආයතන එම ගොඩනැගිලිවලින් බදු ගන්නේය. එසේ බලන විට විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලයද, නගර සභාව හා ප්‍රාදේශීය සභාවද එම ගොඩනැගිලිවලට පහසුකම් දීමත් වැරැදිය. මුලින්ම කළ යුත්තේ ඒවා කඩා බිඳ දැමීම නොවේ. මේ ඉදිකිරීම්වලට පහසුකම් දුන් රජයේ නිලධාරීන් දඬුකඳේ ගැසීමය.


කෙසේනමුදු අභිමංසල ඇතුළු ස්ථිර ගොඩනැගිලි ඉදිකර අවසන්ය. මත්තල ගුවන් තොටුපොළ, වරාය වැඩක් නැති සුදු අලියෙක් බව කීවද ඒවා දැන් අතහැර නොහැකිය. කඩා ඉවත් කළ නොහැකිය. රජය දැන් කළ යුත්තේ මෙතැන් සිට හෝ ඉදිකිරීම් නතර කිරීම මිසක් දැනට ඇති ස්ථිර ගොඩනැගිලි කඩා ඉවත් කිරීම නොවේ.


කෙසේ නමුදු කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමැතිවරයා කීවේ වැව් රක්ෂිතවල ඉදිකර ඇති ගොඩනැගිලි කඩා ඉවත් කිරීමට රජය තීරණය කර නැති බවය. තෝරාගත් වැව්වල සීමා මායිම් ලකුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බවත්, එහිදී එම ඉදිකිරීම් පිළිබඳ නිලධාරීන් අවශ්‍ය තීරණ ගනු ඇති බවද ඔහු කීවේය.

 

More News..