brand logo
logo
ශාන්තුවරයන්ගේ සටන තුන්දිනකට එළැඹෙයි

ශාන්තුවරයන්ගේ සටන තුන්දිනකට එළැඹෙයි

27 March 2025 | සසිත සේනානායක

දිවයිනේ ප්‍රමුඛතම කතෝලික පාසල් යුගලක් වන මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය අතර වාර්ෂිකව 91 වැනි වරටත් පැවැත්වෙන ශාන්තුවරයන්ගේ සටන තෙදින ක්‍රිකට් තරගය එළැඹෙන අප්‍රේල් මස 4,5 සහ 6 යන දිනයන්හිදී සහ සීමිත පන්දුවාර තරගය අප්‍රේල් 26 වැනිදා කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වේ.


ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පෙරේදා (25 වැනිදා) කොළඹදී පැවැත්විණි.


මෙම තෙදින ක්‍රිකට් තරගයේදී ගරු මොරිස් ජේ. ලෙගෝ පියතුමන් අනුස්මරණ කුසලාන සඳහා පාසල් යුගලය තරග වදින අතර 51 වැනි වරට තරග වදින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය පීටර් එල්. පිල්ලේ පියතුමන් අනුස්මරණ කුසලාන වෙනුවෙන් තරග වැදීමට නියමිතය.


මෙවර ශාන්ත ජෝසප් කණ්ඩායමේ නායකත්වය කෙනත් ලියනගේ විසින් මෙහෙයවනු ලබද්දී ශාන්ත පීතර කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ඔවීන් සල්ගාදු වෙත ය. මේ වනතෙක් අවස්ථා 12ක් ජයගනිමින් ජයග්‍රහණයන්ගෙන් ශාන්ත ජෝසප් විදුහල ඉදිරියෙන් සිටින අතර ශාන්ත පීතර විදුහල ජයග්‍රහණ 10 වාර්තා කරගෙන ඇත. එසේම අවසන් වරට පැවැති දෙදින තරගය වූ පසුගිය වර තරගය ජයපරාජයකින් තොරව අවසන් විණි.


තරග වාරයන් 50ක් පැවැති සීමිත පන්දුවාර තරගාවලියේ මෙතෙක් 25 වරක් ශාන්ත ජෝසප් විදුහල ජයගෙන ඇති අතර ශාන්ත පීතර විදුහල ජයගෙන ඇති අවස්ථා ගණන 22කි. තරග 3ක් ප්‍රතිඵල රහිතව නිමවී තිබේ. මේ වනවිට ගිය වර ජයග්‍රාහකයන් වූ ශාන්ත පීතර විදුහල ගරු පීටර් පිල්ලෙ පළිහ තමන් සතුකරගෙන සිටිති.


ඩයලොග් ආසිආටා පී.එල්. සී ආයතනය විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයන මෙම තරග පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට දෙවිදුහල්හි විදුහල්පති පියතුමන්ලා, ආදි සිසුන් සහ අනුග්‍රාහකයන් ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.

 

More News..