brand logo
logo
 නව ත්‍රස්ත පනත නිසා GSP+ බදු සහනය දැඩි අවදානමක

නව ත්‍රස්ත පනත නිසා GSP+ බදු සහනය දැඩි අවදානමක

28 October 2026 | නිර්මාණි තිලකසිරි


පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත (PSTA) හේතුවෙන් රටට හිමි GSP+ යුරෝපා බදු සහනය දැඩි අවදානමකට ලක්ව ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පෙන්වා දෙයි.


මෙරට සමස්ත භාණ්ඩ අපනයනයෙන් සියයට 40කට වඩා වැඩි ප්‍රමාණයක් දරන ඇඟලුම් කර්මාන්තය, වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන පහක පමණ ආදායමක් රටට ගෙන එන බවත්, යුරෝපා සංගමය යනු මෙම අපනයනවලින් සියයට 30කට වඩා වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නා අතිශය තීරණාත්මක වෙළෙඳපොළක් බවත් එම සංසදයේ නිවේදනයේ සඳහන්වේ.


2026 වසරේ මුල් භාගය තුළ යුරෝපා සංගමය වෙත සිදුකළ ඇඟලුම් අපනයනය 2025 වසරට සාපේක්ෂව සියයට 8කින් පහත වැටී ඇති අතර, එම කාලය තුළ චීනයෙන් සහ වියට්නාමයෙන් යුරෝපය සිදුකළ ආනයන පිළිවෙළින් සියයට 5කින් සහ 9කින් ඉහළ ගොස් ඇති බව එම සංසදය පෙන්වා දෙයි.


එබැවින් මේ හරහා මෙරටට සිය වටිනා වෙළෙඳපොළ කොටස ක්‍රමයෙන් අහිමි වෙමින් පවතින බව ඔවුන් අවධාරණය කර සිටියි.


යුරෝපා සංගමය විසින් ලබා දෙන GSP+ බදු සහනය යනු මෙරට භාණ්ඩ සඳහා බදු රහිතව එරට වෙළෙඳපොළට ඇතුළු වීමට ඇති එකම මග වන බවත්, එහෙත් එය මානව හිමිකම්, සේවක අයිතිවාසිකම් සහ පරිසරය සුරැකීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීමේ දැඩි කොන්දේසිය මත රඳා පවතින බවත් පෙන්වා දෙන එම සංසදය, ඉදිරි 2027-2028 වසරවලදී මෙම සම්මුතීන් සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ නැංවෙන අතර, 2027 වසරෙන් අවසන් වන වත්මන් GSP+ සහන කාලසීමාවෙන් පසු නව වෙළෙඳ චක්‍රය සඳහා නැවත අයැදුම් කළ යුතු බව සඳහන් කරයි.


කෙසේ වෙතත්, මෙම පනත වර්තමාන ස්වරූපයෙන් සම්මත වුවහොත්, නව අයැදුම්පත ප්‍රතික්ෂේප වීමට එය ප්‍රධානතම බාධකයක් වනු ඇතැයි අපේක්ෂා කෙරන බැවින් පනත සම්මත වීමෙන් පසු එය නිවැරැදි කිරීමට යාම අතිශය පාඩු සහගත වනු ඇති බැවින්, ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ජීවනෝපාය සහ රටේ ආර්ථික අනාගතය සුරක්ෂිත කිරීම සඳහා පනත් කෙටුම්පත කඩිනමින් සංශෝධනය කළ යුතුව ඇතැයි එම සංගමය දැඩිව අවධාරණය කර සිටියි.

 

More News..