brand logo
logo
ශ්‍රී ලංකා පළමු ඉනිම තවමත් ලකුණු 238ක් පසුපසින්

ශ්‍රී ලංකා පළමු ඉනිම තවමත් ලකුණු 238ක් පසුපසින්

26 August 2026


සංචාරක ඉන්දීය කණ්ඩායම සමග එස්.එස්.සී පිටියේ පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (25 වැනිදා) දිනය ද සුපුරුදු පරිදි වැසි බාධා මධ්‍යයේ ක්‍රියාත්මක වූ අතර දිනය නිමාවන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් බිඳ වැටී ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 238ක් පසුපසින් රැඳී සිටියේය. නොදැවී කඩුල්ලේ රැඳී සිටි සොනාල් දිනූෂ පසුපෙළ පිතිකරුවන් සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම ගොඩගැනීමේ සටනක නිරතව සිටියේය.


තරගයේ දෙවැනි දිනය නිමා වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි කමිල් මිශාර සමගින් පසිඳු සූරියබණ්ඩාර ඊයේ උදෑසන 9.45ට ශ්‍රී ලංකා ඉනිම ඇරැඹූහ. හතරේ පහරක් සමගින් දිනය ඇරැඹූ නමුත් කමිල්ගේ ඉනිමට ලකුණු 13දී තිත තැබීමට ප්‍රසිද් ක්‍රිෂ්ණා සමත් විය. පැයට කිලෝ මීටර් 142ක වේගයෙන් පැමිණි කෙටි පන්දුව කමිල්ගේ අත්ආවරණවල වැදීමෙන් පසු කඩුලු රකින ක්‍රීඩක ද්‍රෘව් ජුරෙල් විසින් සාර්ථකව සිය අත් ආවරණ තුළ සුරක්ෂිත කර ගත්තේය.


අනතුරුව පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස්, පසිඳු සමගින් එක්ව ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් එක් කිරීමට සමත් විය. ලකුණු 35ට කඩුලු 3ක් බිඳ වැටුණු ඉනිම ඔවුන් දෙදෙනා විසින් ස්ථාවර කරමින් ලකුණු 100 සීමාව දක්වා ගෙනගිය අතර ඒ අතරවාරයේ පසිඳු සිය කුලුඳුල් ජාත්‍යන්තර අර්ධ ශතකය රැස් කළේය. පහසුවෙන් ලකුණු රැස් කරමින් ඉන්දියාවට හිසරදයක් වෙමින් පැවැති සබඳතාව බිඳ දැමීමට ක්‍රිෂ්ණා කැඳවූ අතර කෙටි පන්දුවට කමිඳු එල්ල කළ පහර ෂෝට් මිඩ්විකට් හි පන්දු රැකි ජඩේජා රැක ගත්තේ ලකුණු 87ක සබඳතාව බිඳ දමමිනි. ඒ වන විට කමිඳු හයේ පහරක් හා හතරේ පහර 3ක් සමග ලකුණු 32ක් රැස් කර සිටියේය. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ලකුණු පුවරුව 130කට කඩුලු 4ක් ලෙස සටහන් විය.


දිවා විවේකය අතරතුර ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් තරගය අඩ පැයක ප්‍රමාදයකින් පසු යළි ඇරැඹිණි. නායක ධනංජය ලකුණු 8කට මානව් හමුවේ දැවී ගිය අතර සාර්ථකව ලකුණු රැස් කරමින් සිටි පසිඳු, ජඩේජා යොමු කළ පන්දුව පිත්තේ ඇතුළත දාරයේ වැදීමෙන් අනතුරුව පාදයේ වැදී අවාසනාවන්ත ලෙස කඩුල්ලට යොමු වීමෙන් දැවී ගියේය. ඔහු පන්දු 133කදී හතරේ පහර 9ක් සමග ලකුණු 80ක් රැස් කළේය. පන්දු 3කට පමණක් මුහුණ දුන් දික්වැල්ල පා ඉන්නට පිටතින් ඇදී යන පන්දුවකට අනවශ්‍ය ලෙස පිත්ත යොමු කරමින් කඩුලු රකින්නාට පහසු උඩ පන්දුවක් ලබා දුන්නේ, කඩුලු නොමැතිව සිටි සිරාජ් වෙත කඩුල්ල පූජා කරමිනි.


ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි හොඳම සබඳතාව පිහිටුවීමට සොනාල් සමග එක්වූ කෙශාර නුවන්ත සමත් වූ අතර සොනාල් අර්ධ ශතකය සම්පූර්ණ කරද්දී, අගනා සහයක් ලබාදුන් කෙශාර පන්දු 74කට මුහුණ දෙමින් හයේ පහරක් හා හතරේ පහර 2ක් සමග ලකුණු 18ක් රැස් කළේය. ලකුණු 57ක් වූ 8වැනි කඩුල්ලේ සබඳතාව බිඳ වැටීමෙන් අනතුරුව ලහිරු කුමාර පිටියට පිවිසි අතර පස්වරු 5.02ට ඇරැඹි වර්ෂාව හේතුවෙන් නියමිත වේලාවට අඩ පැයකට පමණ පෙර තෙවැනි සැසිය නිම කිරීමට විනිසුරුවරුන්ට සිදු විණි. සොනාල් ලකුණු 82ක් හා ප්‍රශංසනීය ලෙස පන්දු 50ක් පුරා කඩුල්ල රැකගත් ලහිරු කුමාර ලකුණු 8ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. තරගය අද (26 වැනිදා) යළිත් උදෑසන 9.45ට ඇරැඹීමට නියමිතය.


මේ අතර පෙරේදා (24 වැනිදා) දිනයේ දැවී යාමෙන් පසු ක්‍රීඩාගාරයට යන අතරතුර හතරේ සීමාවට පිත්තෙන් පහරදුන් ප්‍රභාත් ජයසූරියට අවවාද සමගින් අසාදු ලකුණක් ලබාදීමට අයි.සී.සීය කටයුතු කළ අතර අසිත ප්‍රනාන්දු සහ යෂස්වී ජයිස්වාල් හට ද පෙර දිනයේ අසාදු ලකුණක් සමගින් තරග ගාස්තුවෙන් 25% දඩ මුදලක් පැනවිණි.

 

More News..