brand logo
logo
සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

29 August 2026 | ඉෂාර රත්නකාර

සරසවි සිසුන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් තිබෙන බව ‘රටම එකට’ ජාතික මෙහෙයුම අනාවරණය කරයි.


ඊට අමතරව තාක්ෂණ විද්‍යා පීඨ, ආගමික ස්ථානවලද මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම් වැඩි වී තිබෙන බව විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුම වෙත අනාවරණය වී ඇත.


මේ වන විට යම් යම් මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමට ලංකාව සමත් වී තිබෙනවා. උදාහරණයක් විදියට දුම්වැටි භාවිතය පහළ ගොස් තිබෙනවා. මෙරට නීති විරෝධී මත්ද්‍රව්‍ය වර්ධනය වී ඇත්තේ නීතිගත මත්ද්‍රව්‍යවලින් ලැබෙන ආරම්භය නිසයි. දුම්පානය නිසා ඇතිවන රෝගාබාධ හේතුවෙන් දිනකට පුද්ගලයන් 50 ක් පමණ මිය යනවා. සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය සහ ඒවා භාවිත කිරීම නිසා ඇතිවන රෝගාබාධ හේතුවෙන් දිනකට 80 ත්, 100 ත් අතර පිරිසක් මියයනවා. මෙරට කොරෝනා වසංගතය පැවැති සමයේදීවත් මත්ද්‍රව්‍යවලින් දිනකට මියයන වාර්තාව කඩන්න බැරි වුණා. සමාජ මාධ්‍ය හරහා මත්ද්‍රව්‍ය ප්‍රචාරණය කිරීම හේතුවෙන් පුද්ගලයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම ඉහළ ගොස් තිබෙනවා’’ යැයි රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු පැවසීය.


විශ්වවිද්‍යාල සිසුන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම වැඩිවී තිබෙනවා. මත්ද්‍රව්‍ය ගත්තොත් නිදිමත එන්නේ නෑ. පාඩම් කරන්න පුළුවන් වගේ වැරදි මත සමාජගතවීම හේතුවෙන් ඇතැම් විශ්වවිද්‍යාල සිසුන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී තිබෙනවා. එලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් ඉන් මුදා ගැනීම සඳහා පුනරුත්ථාපන වැඩසටහන් රැසක් ‘‘රටම එකට’ ජාතික මෙහෙයුම හරහා ක්‍රියාවට නංවා තිබෙනවා යැයිද ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු පැවසීය.


කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි රටම එකට ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලයේ පැවැත් විෂ මත්ද්‍රව්‍ය නිරාවරණය හා ඒ සම්බන්ධ අධ්‍යාපනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු එලෙස පැවසීය.

 

More News..