brand logo
logo
ශිෂ්‍යත්වයෙන්  ලංකාවේ පළවෙනියා වී දෙසතියකින් පසු   ධනෝජ්

ශිෂ්‍යත්වයෙන් ලංකාවේ පළවෙනියා වී දෙසතියකින් පසු ධනෝජ්

11 September 2026


ඇහැටුවැව කී විටම දැන් රට වැසියෝ ධනෝජ් තීක්ෂණ පුතා ගේ ඉස්කෝලේනේදැයි අසති. දැන් ඇහැටුවැවත් ධනෝජ් තීක්ෂණ පුතාත් පවුලේ කෙනෙක් වාගේ රටට සමීපය.


ශිෂ්‍යත්ව ප්‍රතිපල නිකුත් වූ සැප්තැම්බර් දෙවෙනිදා සිට මේ දක්වාම මහා විශාල ජනතාවකට ධනෝජ් තීක්ෂණ දරුවා කෙරෙහි මව්වත් සෙනෙහෙන් කිරි එරී ඇති සේය.ඒසා මහා සෙනෙහසක් , ආදරයක් හිමිවීම මහා පුදුම තරම්‍ ය.


දැන් ඊලගට ධනෝජ් තීක්ෂණ දරුවාට වෙන්නේ මොකක්දැයි දැනගැනීමේ විශාල උනන්දුවක් , කතාබහක්ද සමාජයේ ඇතිවී තිබේ.


එනිසාම, ශිෂ්‍යත්ව ප්‍රතිපල නිකුත්වූ දින සිට ධනෝජ් තීක්ෂණ දරුවා දැන් සිටින තත්ත්වය කෙබෙඳුදැයි විපරම් කර බැලීම අරුණ අපි සිතුවෙමු.


සැප්තැම්බර් 02 වැනිදා සවස්වරුවේ ශිෂ්‍යත්ව ප්‍රතිපල පිටකළ පසු ඇහැටුවැව ප්‍රාථමික විදුහලේ ධනෝජ් තීක්ෂණ ලකුණු 193 ක් ගෙන ලංකාවේ පළමු ස්තානයට පත්වූ ආරංචිය දැනගත් වහාම සියලූම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දරුවා ඉන්නා ගම් ඉසව්ව හඹා ගොස් එකී පුවතේ තොරතුර වහ වහා සියලූම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වෙත ප්‍රචාරය කිරීමට යුහුසලු වූහ.


පසුදින ධනෝජ් තමා අකුරු කළ විදුපියසට ගියේ තම පියා සහ වැඩිමල් සහෝදරිය සමඟය. ධනෝජ් පාසලට පැමිණෙන ආරංචියට ඇහැටුවැව ප්‍රදේශවාසීන්ද, තීක්ෂණගේ ගම් වාසී නෑදෑ හිතවතුන්ද, දරුවාට සුබ පැතීමට ඇහැටුවැව පාසලට රොද බැදුණහ.


මහව අධ්‍යාපන කලාප කාර්‍යාලයේ අධ්‍යක්ෂවරයාද එදින පාසලට පැමිණ දරුවාට සුබ පැතීය.


ධනෝජ් ශිෂ්‍යත්ව ප්‍රතිපල පිටවූ පසු තමන් අකුරු කළ ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික පාසලට පැමිණි අවස්තාවේ ජංගම දුරකතනයක පටිගතවූ වීඩියෝවක් සමාජ ජාල හරහා නැරඹුම් වාර ලක්ෂ තිහක් පමණ ඉක්මවා තිබුණි.


හිටපු ජනාධිපතිවරු කිහිප දෙනෙක්ම දනෝජ්ගේ පියාට දුරකතන ඇමතුම් ලබා දී ජයග්‍රහණයට සුබ පැතුම් එක් කර ඇත.


විපක්ෂනායකවරයා විදුහල්පති අමතා පාසලටත් දරුවාටත් ශුභ පැතුම් එක් කර තිබේ.


ඉකුත් සිකුරාදා දින ධනෝජ් , ඔහුගේ පියා , සහෝදරිය සහ විදුහල්පති වසන්ත දසනායක කොලඹ දෙරණ මාධ්‍ය ජාලය පරිශ්‍රය වෙත කැඳවාගෙන ආවේ සර්වජන බලයේ නායක දෙරණ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ දිලිත් ජයවීරගේ විශේෂ ආරාධනාවකින්‍ ය.එහිදී, දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යත්ව, අධ්‍යාපන මෙවලම් ආදිය ධනෝජ්ටත් ඔහුගේ සහෝදරියටත් ප්‍රදානය කරන ලදි.


ඊට පසු දිනක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇහැටුවැව පාසලට පැමිණ දරුවාට තෑගි පිරිනමා ඇත.


ගල්ගමුව නගරයේ වාණිජ බැංකු කිහිපයකින්ම දරුවාට තෑගි බෝග පිරිනැමීම සිදුවිය.


විදේශයන්හි සිටින පිරිස්ද දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් ත්‍යාග පිරිනමා තිබේ.


මේ අතර ඇහැටුවැව විදුහලෙන් සිප් සතර උගෙන ඉහළ තලයට ගිය පිරිස්ද ධනෝජ් දැකගැනීම වෙනුවෙන්ම පාසලට පැමිණෙති.


ඇහැටුවැව සිටි විෂන් ක්ලබ් සහ, ගල්ගමුව නගරයේ පුද්ගලික ආයතන කිහිපක්ද දරුවාගේ ඉදිරි අවශ්‍යතා වෙනුවෙන් ඔවුන්ගේ සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී සිටිති.


ඉකුත් සැප්තැම්බර් අට වැනිදා නෙත් එෆ් එම් නාලිකාව ධනෝජ් තීක්ෂණ,ඔහුගේ පියා මෙන්ම දනෝජ්ගේ පන්ති භාර ආශා කුමුදුනී ගුරුතුමිය සහ ඇගේ පවුලේ සියලු දෙනා කොලඹට රැගෙන ආහ.


තෑගී බෝග රාශියක් පිරිනමා, වැඩසටහන් කිහිපයක්ද පටිගත කොට, ධනෝජ් ඇතුලු පිරිස කොලොම්පුරේ සිරි නැරඹීමට රැගෙන ගියහ.


ඒ ගමනේදී ධනෝජ් ට ගුරුතුමී සමඟ කොළඹ නෙලුම් කුළුණට නැගීමටද අවස්තාව ලැබුණි.


සැප්තැම්බර් නව වැනිදා ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුලු කාර්‍ය මණ්ඩලය විසින් ධනෝජ් ඇතුලු පාසැලේ ශිෂ්‍යත්ව සමතුන්, විදුහල්පති සහගුරු භවතුන් පිළිගනිමින් විශේෂ සැමරුම් උළෙලක් සංවිධානය කොට තිබුණි.


එදිනම ඇහැටුවැව පාසැලට මනුසත් දෙරණ ව්‍යාපෘතියේ නිළධාරිහුද පැමිණියෝය.


ඔවුන් ධනෝජ් ඇතුලු පාසැලේ අඩු ආදායම්ලාභී සිසුන් පිරිසකටම විශාල වශයෙන් උදවු උපකාර කිරීම සුවිශේෂී අවස්තාවක් විය.


තවද මයි හෝප් ලංකා පදනමේ නිර්මාතෘ එංගලන්තයේ පදිංචි සුජිත් වීරසිංහ ද ධනෝජ් වෙනුවෙන් සිය යුතුකම් ඉටුකලේ පන්තියේ අනෙක් යහලුවන්ද මකත් කරමින් ය.


එහිදී මයි හෝප් ලංකා පදනම මගින් ලැබුණු පාසල් පොත් ,පාසල් බෑග් , පාවහන් ඇතුළු පාසල් උපකරණ ධනෝජ් විසින් තම යහලුවන්ට පිරිනැමිමද සුවිශේෂි විය.


මේ අතර නන් දෙසින් තවත් විශාල පිරිසක් ධනෝජ් දරුවාට උදව් උපකාර කිරීමටත් ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කර දැරීමටත් ඔවුන්ගේ කැමැත්තද පළ කර ඇත.


මේ ගෙවීයන දින ධනෝජ්ටත් පියාටත් ඔවුන්ගේ පවුලටත් අතිශය කාර්‍යබහුල දිනබවට පත්වෙමින් තිබේ.


පාර තොටේ ධනෝජ් දකිනවිට දරුවාට ප්‍රශංසා කිරීමට පිරිස් දුව ඇදෙති.


ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විදුහලේ විදුහල්පතිතුමා, ධනෝජ්ගේ පන්ති භාර ආශා කුමුදුනී ගුරුතුමිය සහ අනෙකුත් ගුරුතුමීලාටත් මේ දින ඉතා උණුසුම්‍ ය. ඒ පරිසරයේ උණුසුම නිසා නොව ධනෝජ්ගේ ජයග්‍රහණය නිසාය. දරුවන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය ගැන මේ ගුරුවරුන්ගේ රහස සොයා, උපදෙස් ගැනීමට ,ඒවා විඩීයෝ කර රටට ප්‍රචාරය කිරීමට නන්දෙසින් පිරිස් පාසලට පැමිණෙති.


සමිති සමාගම් උත්සවවලදී දැන් ප්‍රධාන ආරාධනය ධනෝජ් සහ ඔහුගේ පියාය. ඔවුන්ගේ දිරිය කතාව ඇසීමට බොහෝදෙනා එක් රොක් වෙති.


වෙනදා ධනෝජ්ගේ ගෙදර කතා නායකයා වූ පියා දැන් රටේම කතා නායකයා වී සිටියි.


වෙනදා තමන් පමණක් අසා, ධාරණය කරගත් පියාගේ ජීවිත පාඩම් තම පියා රටක් අමතා කතා කරන දෙස ධනෝජ් අභිමානයෙන් බලා සිටිනු පෙනෙයි.

 

More News..