Best News Website award
brand logo
logo
  වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක් නොවීමට ගණකාධිකාරී සේවා සංගමය තීරණය කරයි

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක් නොවීමට ගණකාධිකාරී සේවා සංගමය තීරණය කරයි

28 November 2026


නොවැම්බර් මස 30 වැනිදා ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහභාගී නොවීමට ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය තීරණය කර තිබේ.


සිය ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සෘජු සාකච්ඡාවක් ඉදිරි සති දෙක ඇතුළත ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කරදීමට කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත සහ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල යන මහත්වරුන් එකඟතාව පළ කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව එම සංගමය සඳහන් කරයි.


ඒ අනුව නොවැම්බර් 30 වැනිදා සාමාන්‍ය පරිදි සිය රාජකාරි කටයුතුවල නිරත වන ලෙස ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය සිය සාමාජිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.


සංගමයේ සාමාජිකයින්ට හිමිවිය යුතු වෘත්තීය දීමනා, ප්‍රවාහන දීමනා ඇතුළු අනෙකුත් ඉල්ලීම් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය ඇති ඉහළම බලධාරීන් සමඟ සාකච්ඡා කර සාධනීය හා ස්ථිරසාර විසඳුමක් ලබාගත යුතු බවට තම සංගමය දැඩි විශ්වාසයකින් පසුවන බවද එම සංගමය අවධාරණය කරයි.


එමෙන්ම, 2027 අයවැය යෝජනා හේතුවෙන් රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණි අතර ඇතිවී තිබෙන දීමනා විෂමතාව නිවැරදි කර ගැනීම මෙන්ම සිය සාමාජිකයින්ගේ සාධාරණ වෘත්තීය සහ ආර්ථික ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් රජයේ බලධාරීන් සමඟ අඛණ්ඩව සාකච්ඡා කිරීමට සංගමය කටයුතු කරන බවද වැඩිදුරටත් සඳහන් කර තිබේ.


 

More News..