brand logo
logo
​නිදහස් අධ්‍යාපන පනත කියවමු

​නිදහස් අධ්‍යාපන පනත කියවමු

18 January 2026

​අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ගෙවුණ සතිය පුරා ඇති වූ සංවාදය දැණුනේ විවේක කාලයේ ඉස්කෝලයක් ළඟින් යනකොට ඇසෙන, ඝෝෂාවක් පරිද්දෙනි. අපහාස, උපහාස නම් පටබැඳීම්, ඝෝෂාව අතරේ ඇති වී මැකී ගියේය. ‘‘කවුද බොල හයේ පොතට වැළ දැම්මේ’’ කියන ප්‍රශ්නයේ සිට ධර්ම චක්‍රේ, ආප්පේ ආදී කෑ ගැසීම්ද ඇසිණ. මේ ප්‍රතිසංස්කරණ ගැන කියන කතා අහන් ඉන්නට බැරි නිසා ඉස්කෝලවල කෙරෙන ආකාරයටම ගැහැනුන්ට නින්දා නොකරනු කියා එකාවන්ව ආචාර්යවරු පිරිසක් දැනමුතුකම් දුන්නද ඒවා භාරගත්තේ නැත. ‘ලිවිං ටු ගෙදර්’ එකාත් එතන ඉන්නවා, කාන්තාවකගේ පස්ස මිරිකපු එකාත් ඉන්නවා කියා කියැවුණේ පාසල් විවේක කාලයේ වගේමය.


‘‘මිහින්තලේ වනචාරියා’


ලාල්කාන්ත අමාත්‍යවරයාගේ හඬට කවුරුත් තිගැස්සිණ.


ඇල්බා විල්බා රොබා වර වර - කරා ළඟ බර බර...


ලාල්කාන්ත අමාත්‍යවරයා කළ ප්‍රකාශයට මිහින්තලේ නායක හිමි නම්පටබැඳි විහිළු කතාවකින් උත්තර බැන්දෝය.


මේ හයවැනි ශ්‍රේණියේ දරුවන්ට ආගම සහ සදාචාරය උගන්වන්ට ලියූ පෙළ පොත පිළිබඳ සංවාද කළ වැඩිහිටියන්ගේ ආගම සහ සදාචාරයේ තරම පෙන්වන දුර්ලභ අවස්ථාවකි. මේ අවස්ථාවේ අපට සිහි විය යුත්තේ 1945 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කර 1947 දී සම්මත කර ගන්නට කටයුතුකළ නිදහස් අධ්‍යාපන පනත වෙනුවෙන් අද තරම් සාක්ෂරතාවක්වත් නොතිබූ ජනතාවක් සමග වගකිවයුත්තන් කටයුතු කළ ආකාරයය. කන්නන්ගර මහතා 1945 නිදහස් අධ්‍යාපන පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවට පළමුවර කියවන විට මෙරට පාසල් වර්ග තුනක් තිබිණ. සිංහල මාධ්‍යයෙන් ජ්‍යෙෂ්ඨය දක්වා පමණක් ඉගැන්වූ ගම්බද රජයේ පාසල් සහ ගාස්තු අයකරන ඉංග්‍රීසියෙන් උගන්වන පරම විඥාර්ථ බෞද්ධ සංගමය සහ කතෝලික සභාව පාලනය කරන පාසල් වශයෙනි. එදා අධ්‍යාපන විෂමතාවයේ තරම තේරුම් ගන්නට එකල පැවැති අධ්‍යාපන ක්‍රමය යටතේ ඉස්කෝලේ ගිය මෙරට ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයා වන ඩියු ගුණසේකරයන් කරන මේ අතීතාවර්ජනය සෑහේ.


මම ගමේ ආණ්ඩුවේ ඉස්කෝලේ හතරට යනකං නොමිලේ ඉගෙන ගත්තා. ඊට පස්සේ මාතර නගරයේ තියෙන මාතර රාහුලයේ පහේ පන්තියට 1945 දී ඇතුළත් වෙලා මාසෙකට රුපියල් පහයි ශත අසූවක ස්කූල් පීස් ගෙවලා ඉංග්‍රීසියෙන් ජ්‍යෙෂ්ඨය දක්වා ඉගෙන ගත්තා. ඉංග්‍රීසි ඉස්කෝලේ ගෙවලා ඉගෙන ගන්න අයට විතරයි විශ්වවිද්‍යාලෙ යන්න ඇහැකි. ජ්‍යෙෂ්ඨය සමත් මම ආණ්ඩුවේ ලිපිකාර කමක් ගන්නකොට සිංහලෙන් ගමේ ඉස්කෝලෙට ගිහින් ජ්‍යෙෂ්ඨය සමත් වුණ මගේම සමකාලීනයාට හම්බ වුණේ ආණ්ඩුවේ පියුං රස්සාව.


දුප්පතුන් සහ පොහොසතුන් අතර තිබූ මේ දැවන්ත අධ්‍යාපන විෂමතාව නැති කරන්නට කන්නන්ගර මහතා ගෙනා නිදහස් අධ්‍යාපන පනත රටේ ජනතාව අතර දැවැන්ත සංවාදයකට මුලපිරුවේය. නිදහස් අධ්‍යාපන පනතට ඉගැන්වීමේ මාධ්‍යය සිංහල විය යුතුය යන යෝජනාව ජේ.ආර්. ජයවර්ධන ගෙනාවේය. කන්නන්ගර එයටද ඇහුම්කන් දුන්නේය.


විද්‍යාලංකාර පිරිවෙණේ භික්ෂූන් වහන්සේලා නිදහස් අධ්‍යාපන පනත වෙනුවෙන් පෙළ ගැසුණ මහා බලවේගය විය. විද්‍යාලංකාර පිරිවෙනේ යක්කඩුවේ පඥාරාම හිමි, වල්පොළ රාහුල හිමි, ප්‍රමුඛව කැලණියෙ එක්සත් භික්ෂු සංගමයත්, ගාල්ලේ එක්සත් භික්ෂු සංගමය ඇතුළු භික්ෂු සංගම් රටපුරා රැස්වීම් පවත්වා ලක්ෂ පහක ජනතාවගේ අත්සන් එකතුකර යෝධ පෙත්සමක් කථානායකට භාරදුන්නෝය. ඩී. එස්. සේනානායක, ප්‍රැන්සිස් මොලමුරේ ආදීන් මේ පනතට විරුද්ධ නිසා පෙත්සම නීති විරෝධී යැයි කිව්වත් භික්ෂූන් රටපුරා ගෙන ගිය මහා උද්ඝෝෂණය නිසා ප්‍රභූන්ට කර කියා ගත හැකි දෙයක් නැති විණි. කතෝලික පල්ලියත්, ඩී. එස්. මොලමුරේ ආදී ප්‍රභූන්ද 1947 වසරේ ඡන්දයට රාජ්‍ය මන්ත්‍රණ සභාව විසුරුවන තෙක් එම පනත සම්මත කර නොගෙන කල් දමාගැනීමට අවසන් මොහොතේ උත්සාහ කළේය. 1947 ඡන්දෙන් කන්නන්ගර පරාද කර පිහිට වන නව පාර්ලිමේන්තුවට කන්නන්ගර ඒ සභාවේ නැති නිසා නිදහස් අධ්‍යාපන පනත හබක් වෙනු ඇතැයි ඔවුහු සිතූහ. එහෙත් පොදු ජනතාවගේද, භික්ෂූන්ගේද බලපෑම් හමුවේ ඡන්දයට කලින් 1947 නිදහස් අධ්‍යාපන පනත සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර සම්මත කරගත්තේ ගඩොලින් බැන්ද රෝමය, කිරිගරුඬෙන් නිමවූ ඔගස්ටස් අධිරාජ්‍යාට වඩා ගම්බද දුප්පතුන්ට කවදාවත් ලබන්නට නොහැකි අධ්‍යාපනය පොතක් ඇරියා සේ විවෘත කරන්නට ලැබුණු මන්ත්‍රණ සභාව සතුටු විය යුතුය කියමිනි. නිදහස් අධ්‍යාපන පනත සම්මත වූ දා යාපනේ මන්ත්‍රි නල්ලයියා මේ පනත බෞද්ධ භික්ෂූන්ගේ ජයග්‍රහණයක් බව කී බැව් අප සඳහන් කරන්නේ නිදහස් අධ්‍යාපනය රැකගැනීමට භික්ෂූන්ට අයිතියක් තිබෙන සැටී පෙන්නීමටය. එහෙත් එබඳු ප්‍රබුද්ධ භික්ෂු පරපුරක් වත්, දේශපාලන පරපුරක් වත් පොදු ජනතා බලවේගයක්වත් දැන් නැති බව පෙණුනේ මේ ප්‍රතිසංස්කරණ සංවාදයේදීය. දැන් ඉතින් නිදහස් අධ්‍යාපනයෙන් බිහි කළ පුරවැසියන්ය කියන්නට අප යන්නේ නැත්තේ වරද වෙන තැනක තිබෙන නිසාය.


එදා නිදහස් අධ්‍යාපන පනත සම්මත කරගත්තේ වසර දෙකක් පුරා කෙරුණ ජනතා අවබෝධයක පිහිටකොටගත් ලියවිල්ලක් ලෙසය. මේ රටේ කෙරුණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකටම පෙර ධවල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඊට ජනතා අදහස් එකතු කර ගැනීම සිරිතය. උසස් අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ ධවල පත්‍රිකාව එදා පරාද කරන්නට පුළුවන් වුණේ ජවිපෙට එදා විරුද්ධ වීමට ඉඩදුන් නිසාය.


එහෙත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන්නට ගියේ එබඳු ආකාරයකට නොවන බව සඳහන් කරන්නේ විපක්ෂ නායකවත්, මිහින්තලේ නායක හාමුදුරුවන්වත් නොවේ. රජයේ විගණකාධිපතිවරයා කියන්නේ ගෙවුණ වසරේ සැප්තැම්බර් මාසය වෙන විටවත් ප්‍රතිසංස්කරණවල මාර්ග සිතියමවත් හදා නොතිබූ බවය. ඊළඟට අධ්‍යාපන ඇමැතිනිය පිළිගත නොහැකි බව කියන්නේ අධ්‍යාපන අයිතිවාසිකම් ගැන ඒ කාලේ අගමැතිනිය සමගද පෙළපාළි ගිය ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින්ය.


හය ශ්‍රේණියේ මොඩියුලයේ අනුමැතිය දුන්නාය කියන ශාස්ත්‍රීය සභාවම එහි සඳහන්ව තිබූ වෙබ් අඩවිය ඉවත් කරන්න කියා නිර්දේශ කර තිබෙන බැවින් එය ඉවත්කරන බව අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කිරීම විහිළුවක් බව ජෝසප් ස්ටාලින් කීවේය.


ඊළඟට වැරදුණ ප්‍රතිසංස්කරණ පොත් අරගෙන මහනායක හාමුදුරුවන් හමුවීමට ගිය අගමැතිනිය වෙබ් අඩවිය පොතේ තිබුණාට ඊට පිවිසෙන්න කියා තිබුණේ නැතැයි කියුවාය. වරදක් තිබෙන බව පිළිගත් අධ්‍යාපන ඇමැතිනිය ඊළඟට කළ හයේ පොතේ පිටු කඩා ඉවත්කරන්නට යෑමම කොළේ ඉරාගෙන ඇඟේ හලා ගැනීමකි.


කන්නන්ගර නිදහස් අධ්‍යාපන පනත ගෙනා 1945 -1947 තරම් ඈත කාලයේ මෙබඳු අදූරදර්ශී වැඩ බැරි, නිසාම බොරු කරන දේශපාලන සමාජයක් නොපැවති බව, අපි මුලදී පෙන්වා දුන්නෙමු. නිදහස් අධ්‍යාපනය ලැබ වසර 79 ක් ගත වූ පසුව ඉගෙන ගත් අයගෙන් මෙබඳු දේ සිද්ධ වෙන විට එයින් ලබා තිබෙන නිදහස් අධ්‍යාපනය හැල්ලූ වෙතැයි නොසිතිය යුතුය. එය නිදහස් අධ්‍යාපනයෙන් උගත් ඇත්තන්ගේ වැඩ නොවේ. අපි එහෙම කියා හෝ කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ නාමය බේරාගනිමු.

 

More News..