Best News Website award
brand logo
logo
සමස්ත රාජ්‍ය සේවයම හෙට වැඩ වර්ජනයේ

සමස්ත රාජ්‍ය සේවයම හෙට වැඩ වර්ජනයේ

29 November 2026 | නිර්මාණි තිලකසිරි

කෑගැසූ පමණින් හෝ වැඩ වර්ජන කළ පමණින් ඉල්ලීම්වලට විසඳුම්දීමට කටයුතු නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශවලට බිය නොවී සමස්ත රාජ්‍ය සේවයම හෙට (30 වැනිදා) වැඩ වර්ජන දියත් කරන බව වෘත්තීය සමිති අවධාරණය කර සිටිති. සියලු රාජ්‍ය සේවකයන්ට රුපියල් විසිපන්දහසක වැටුප් වැඩිවීමක් දෙන ලෙසට බලකරමින් මෙම වැඩවර්ජනය දියත් කිරීමට වෘත්තීය සමිති සැලසුම් කර තිබේ. ඒ සඳහා රාජ්‍ය සේවකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් සිකුරාදා (27 වැනිදා) පෙරවරුවේ පැවැත්විණි.


සෞඛ්‍ය සේවාවේ සියලුම ක්ෂේත්‍ර මෙම වර්ජනයට එක්වන අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයද ඊට සහාය පළ කිරීමට තීරණය කර ඇත. ඒ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමකින් අනතුරුවය. අධ්‍යාපන, වරාය, තැපැල් ඇතුළු සියලු රාජ්‍ය සේවකයන් වර්ජනයට එක්වන අතර වැඩකරන පන්තියට කිසිදු පාලකයකු බන්දේසියක තබා ඉල්ලීම් දී නොමැති බව ජනාධිපතිවරයාද දන්නේ යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං කීවේය.


මෙවැනි ප්‍රකාශවලට ප්‍රතිචාර ඉදිරියේ දී දැකගත හැකි බව පැවසූ ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හැසිරීමට ලැබුණු ප්‍රතිචාර වර්තමාන ආණ්ඩුවද මතක තබාගත යුතු බවයි.


එමෙන්ම හෙතෙම මෙලෙසද පැවසීය.


ජනාධිපතිවරයා එකහෙළාම කියන්නේ ඉල්ලීම් දෙන්නේ නෑ කියලා. මේවා කියන්නද ආණ්ඩු ඉන්නේ? මේක ඉතාමර බරපතළ තත්ත්වයක්. රට පාලනය කරපු අනිත් පාලකයන්ට වඩා වෙනස් විදිහේ පාලනයක් කියලා පෙන්නන්න හැදුවට මේ පාලනයත් ඒ වගේම තමයි. ඒ නිසා අපිට කියන්නේ තියෙන්නේ තර්ජන ගර්ජනවලට අපිව නවත්වන්න බෑ කියලා. ආණ්ඩුවේ උද්දච්ච ප්‍රකාශවලට ඉදිරියේදී ප්‍රතිචාර ලැබෙයි. අපි ඉල්ලන ඉල්ලීම් දෙන්න කඩිනමින් වැඩපිළිවෙළක් ගෙනාවෙ නැත්නම් මේ වෘත්තීය ක්‍රියාමාර්ග තවත් ඉදිරියට යයි.

 

More News..