brand logo
logo
දිවයිනෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීමට ජාතික වැඩපිළිවෙළක්

දිවයිනෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීමට ජාතික වැඩපිළිවෙළක්

21 July 2026

ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ සත්ත්ව සුබසාධනය රජයේ ප්‍රමුඛතාවක් වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

පවතින ප්‍රායෝගික ගැටලු නිරාකරණය කරගනිමින්, පළාත් පාලන ආයතන, අදාළ අමාත්‍යාංශ සහ ජාත්‍යන්තර සංවිධාන හා එක්ව මෙම ජාතික සැලැස්ම ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පූර්ණ සහය ලබාදෙන බව ඇය අවධාරණය කරයි.


ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම, සත්ත්ව සුබසාධනය තහවුරු කිරීම සහ වීදි සතුන්ගේ ගහනය පාලනය කිරීම වෙනුවෙන් විධිමත් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.


එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.


එක්සත් රාජධානියේ 'Battersea' සංවිධානය සහ ජාත්‍යන්තර සහකාර සත්ත්ව කළමනාකරණ සන්ධානය (ICAM - UK) නියෝජනය කරන විශේෂඥ නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙතෙක් පැවැති 70%ක එන්නත්කරණ ඉලක්කය වෙනුවට, කෙටි කාලයක් තුළ උපරිම සුනඛයන් සංඛ්‍යාවකට වසර 3ක් පුරා පවතින එන්නත ලබාදීමේ ක්‍රමවේදය හඳුන්වා දීමට මෙහිදී යෝජනා වී ඇත.

එමඟින් පශ්චාත් එන්නත්කරණය (PEP) සඳහා වැයවන අධික පිරිවැය අවම කරගත හැකි බව පෙන්වා දී තිබේ.

මෙම වැඩපිළිවෙළ පළමුව බස්නාහිර පළාතෙන් ආරම්භ කර පසුව සමස්ත දිවයින පුරා ව්‍යාප්ත කිරීමටත්, එය සෘජුව හා කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා 'ජනාධිපති කාර්ය සාධක බලකායක්' (Presidential Task Force) පිහිටුවීමටත් අවධානය යොමුව ඇත.

ජලභීතිකා රෝගය පාලනය සඳහා උසස් තත්ත්වයේ එන්නත් භාවිත කිරීමේ වැදගත්කම සහ එහි ශීතකරණ සැපයුම් දාමය (Cold chain) සුරක්ෂිතව පවත්වාගනිමින් මධ්‍යම රජයේ අධීක්ෂණය යටතේ සිදුකිරීමේ අවශ්‍යතාව පැහැදිලි කෙරිණි.

පශු වෛද්‍ය හිඟයට පිළියමක් ලෙස පළාත් පාලන ආයතන හරහා එන්නත්කරණය සඳහා පිරිස් පුහුණු කර යොදවා ගැනීමටද යෝජනා විය.

මෙම සාකච්ඡාව සඳහා Battersea සංවිධානයේ Roxanne Sahar Nazir, ICAM සංවිධානය නියෝජනය කරමින් Dr. Elaine Francisca Hiby, Dr. Eric Joseph Brum, Patrick Gerard සහ කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන පශු වෛද්‍ය Dr. M. Ijas යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


 

More News..