brand logo
logo
සකල සතම ජෙපි බැතියෙන්!

සකල සතම ජෙපි බැතියෙන්!

24 October 2026

කලකට පසු මම බුද්ධි අංශයේ සේවය කරන පාසල් මිත්‍රයාව බැහැ දකින්නට ඔහුගේ නිවෙසට ගියෙමි. පැය කිහිපයක ඇවෑමෙන් පෙරළා එන්නට පිටත් වූ මා සමග මිත්‍රයාද ගේට්ටුව ළඟටම ආවේය.


"මචං, මේ ලේන්නෙකේ ඉස්සර හිටියෙ ඔක්කොම බෞද්ධයො" ඔහු මට පහත් හඬින් කීවේය. "තාමත් ඒ හිටපු මිනිස්සුමයි ඉන්නෙ. හැබැයි දැන් බාගෙට බාගයක් බෞද්ධ නෙවෙයි"

මගේ පුදුමය පිටාර ගැලුවේය.

"මාරයිනෙ බං මම මිත්‍රයාගේ දෙවුර සොලවමින් කීවෙමි. "ඒ කියන්නෙ අවුරුදු පන්සීයකට පස්සෙත් කතෝලික ආක්‍රමණය දරුණුවටම සිද්ධ වෙනවානේ?"

මිත්‍රයා හයියෙන් හිනාවෙන්නට පටන් ගත්තේය.

"උඹ මඟුලක් කියනවා, පල්ලියෙ සම්බන්ධයක් නෑ මේ වැඩේට" මිත්‍රයා සිනාව අතරේම කියා දැම්මේය. "මුන් බුද්ධාගමෙන් ගිහින් තියෙන්නෙ ජෙප්පාගමට"

පුදුමයෙන් මගේ කට ඇරුණේය.

"පුදුමවෙන්න දෙයක් නෑ, මේක ටොප් සීක්‍රට් ආගමක්" මිත්‍රයා මගේ කනට කර කීවේය. "හාමුදුරුවන්ගෙ සිවුරු ගලවපු කේස්සෙකින් පස්සෙ තමයි මේක ලීක් වෙන්න ගත්තෙ"

"ඒ කොහොමද ඒ"

"මචං, හාමුදුරුවරු හිතාගෙන හිටියෙ බෞද්ධයො බෙදිලා ඉන්නෙ යූඑන්පී බෞද්ධ, සජබ බෞද්ධ, පොහොට්ටු බෞද්ධ, ජෙපි බෞද්ධ ආදී වශයෙන් කියලනෙ" මිත්‍රයා මට විස්තර කරන්නට විය. "ඒත් හාමුදුරුවරු පාරට බැස්සම තමයි තේරුණෙ ජෙපි බෞද්ධයො කියල කොටසක් නෑ කියල"

"හරිනෙ" මම කීවෙමි. "ජෙප්පො කියන්නෙ මාක්ස්වාදියොනෙ. ආගම කියන්නෙ දුප්පතාගෙ අබිං කියලනෙ මාක්ස් කියල තියෙන්නෙ"

"රෙද්ද තමයි. ඒ නිරාගමික ජෙප්පො හිටියෙ ඉස්සර" මිත්‍රයා මට කියා සිටියේය. "අකුදි 2024 දි ජෙප්පාගමේ පුනරුදය ඇතිකරල තියෙන්නෙ ඒකෙ කලින් තිබුණු නිරාගමික ස්වරූපය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරල. දැන් ජෙප්පාගමිකයො කියන්නෙ තමන්ගෙ ශාස්තෘවරයාණන් වන අකුදිව දේවත්වයෙන් අදහන, 159 ක් වන දේව සභාවට භක්තිමත් කට්ටියක්. හාමුදුරුවරු ජෙපි ආණ්ඩුවෙන් ගේම ඉල්ලුවම තමයි ඔය ඔක්කොම එළියට එන්න ගත්තෙ"

මට මිත්‍රයාගේ බස ඒත්තු ගියේ නැත.

"ජෙප්පො කියන්නෙ දේශපාලන පක්ෂෙක සාමාජිකයොනෙ බං" මම ඔහුට කියා සිටියෙමි. "අනික ජේවීපිය කියන්නෙ ආගමක් නෙවිනෙ බං"

"හරියට හරි" මිත්‍රයා මගේ බස පිළිගත්තේය. "ජේවීපිය කියන්නෙ ජෙප්පාගමේ දේශපාලන අංශය. එන්පීපිය කියන්නෙ ජෙප්පාගමේ ආණ්ඩුව. දැන් බලපන් මීට කලින් ආණ්ඩුවක් සංඝරත්නය එක්ක හැප්පුණා නම් සොරි තමයි නේද? ඒ වුණාට මේ සැරේ උන්නාන්සේලා හැප්පිලා තියෙන්නෙ ඉතා බලවත් දෙවියෙක් ඉන්න, ඉතා බලවත් දේව සභාවක් තියෙන ආගමක් එක්කනෙ"

"මොකක්ද බොලාට ඕක ගැන ඉස්සෙල්ලාම ආපු ඔත්තුව?"

"මේ ගොල්ලන්ගෙ කටවල්වලින්ම තමයි" මිත්‍රයා හීනියට හිනාවී කීවේය. "අපි ආවෙ යන්න නෙවෙයි, අපි දිගටම ඉන්නවා වගේ කතා කියන කොටම අපිට සැකේ ආවා"

"ඊට පස්සෙ?"

"වස් කවියෙන් තමයි වැඩේ තහවුරු වුණේ" මිත්‍රයා විස්තර කරන්නට විය. "වස් කවිය ලියපු එකා අල්ලපන්, හිරේ දාපන් කියනව, දේවාලයක් දේවාලයක් ගානෙ ගිහින් ශාන්තිකර්ම කරනව මදිවට ඉන්දියාවෙනුත් මලයාලි ගුරෙක් ගෙන්නුවම අපිට තේරුණා මේ නම් දුෂ්ට මාක්ස්වාදීන් පිරිසක් නෙවෙයි, අහිංසක මිථ්‍යාදෘෂ්ටිකයො ටිකක් කියල"

මට තවත් ප්‍රශ්නයක් නොඅසාම බැරි විය.

"දැන් මුන් කියනව වගේම යන්නෙ නැතුව ඉඳියිද බං?"

"ඒව කියන්න බෑ මචං" මිත්‍රයා කියා සිටියේය. "බුද්ධාගම තව අවුරුදු 2500 ක් තියෙනව කියනවනෙ. ඒ වගේ ජෙප්පාගමත් කොච්චර කල් තියෙයිද කියල කවුද දන්නෙ?"

සුන්දර නිහතමානි ද මැල්

 

More News..