brand logo
logo
ජාතික යොවුන් ක්‍රීඩා උලෙළේ දක්ෂතම ක්‍රීඩකයා - දිමල්ෂ දක්ෂතම ක්‍රීඩිකාව - ජිත්මා

ජාතික යොවුන් ක්‍රීඩා උලෙළේ දක්ෂතම ක්‍රීඩකයා - දිමල්ෂ දක්ෂතම ක්‍රීඩිකාව - ජිත්මා

02 November 2026


හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති ඊයේ (1 වැනිදා) අවසන් වූ 36වැනි යොවුන් ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ දිමල්ෂ චතුරංගත්, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ ජිත්මා විජේතුංගත් සම්මාන හිමිකර ගත්හ. මෙම මලල ක්‍රීඩා තරගාවලියේ නව තරග වාර්තා 7ක් පිහිටුවන ලද අතර ඒ අනුව මේ සමස්ත ක්‍රීඩා උළෙලේ නව තරග වාර්තා 30ක් පිහිටුවීමට සියලු ඉසව්වල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.


මෙහිදී කෑගල්ල දිස්ත්‍රික්කයේ දිමල්ෂ චතුරංග මීටර 400 කඩුලු පැනීම පිරිමි ඉසව්වේ තත්පර 50.03ක දක්ෂතාවක් සමගින් නව තරග වාර්තාවක් පිහිටුවමින් දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වූ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූ ජිත්මා විජේතුංග මීටර 400 දිවීම කාන්තා ඉසව්වේ තත්පර 54.30ක දක්ෂතාවක් සමගින් දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වූවාය.


මෙහිදී 'අරුණ' වෙත අදහස් දැක්වූ ඔවුන්, මින් දෙදිනකට පෙර යුද හමුදා ක්‍රීඩා උලෙළේ දක්ෂතම ක්‍රීඩක සම්මාන ලැබීම මෙන්ම මෙම ක්‍රීඩා උලෙළේ ද දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබීමට හැකි වීම ගැන මහත් සේ සතුටු වන බවත් පැවැසූහ.


තරගාවලියේ අලුත් වූ තරග වාර්තා අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මිනෝලි ප්‍රනාන්දු උස පැනීම කාන්තා ඉසව්වේ මීටර 1.75ක දක්ෂතාවක් සමගින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත්වද්දී දුර පැනීම කාන්තා ඉසව්වේ මීටර 6.14ක දක්ෂතාවක් සමගින් නව තරග වාර්තාව සියතට ගැනීමට හම්බන්තොට දිස්ත්‍රික්කයේ අයි.එස්.ඩබ්ලිව් ආරච්චි සමත් වූවාය. එසේම ඇය විසින් ම තුන් පිම්ම කාන්තා නව තරග වාර්තාව පිහිටුවීමට සමත් වූයේ, මීටර 13.03ක දක්ෂතාවක් දක්වමිනි.


මීටර 800 දිවීම පිරිමි ඉසව්වේ නව තරග වාර්තාව මිනිත්තු 1 තත්පර 51.63ක නිමි කාලයක් වාර්තා කළ අරුණ පන්සිළු ගිරිදර සතුවද්දී, මීටර 400 පිරිමි සහය දිවීම ඉසව්වේ නව තරග වාර්තාව මිනිත්තු 3 තත්පර 13.61 කින් තරගය නිම කළ කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම සතුවිය. එසේම මීටර 400 දිවීම පිරිමි ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවීමට තත්පර 46.44කින් තරගය නිමා කළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පී.එල් කොඩිකාර සමත් වූයේය. පිරිමි මීටර 200 දිවීම ඉසව්වේ නව තරග වාර්තාව තත්පර 21.49ද දක්ෂතාවක් සමගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ කේ.ඩී. කුමාර් සතුවිය. තවද තුන් පිම්ම පිරිමි ඉසව්වේ නව තරග වාර්තාව මීටර 16.15 දක්ෂතාවක් වාර්තා කළ ගම්පහ දිස්ත්‍රික්කයේ වයි.ඩබ්ලිව්. කුමාර සතු විය.


මෙම තරගාවලියේ සමශූරතා හිමිකර ගැනීමට මුළු ලකුණු 130 බැගින් හිමි කරගත් ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්ක සතු වූ අතර මුළු ලකුණු 106ක් හිමිකරගත් ගාල්ල දිස්ත්‍රික්කයට සමස්ත ශූරතා තෙවැනි ස්ථානය හිමි විය.


මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩකාවට රුපියල් මිලියනය බැගින් මුදල් ත්‍යාග හිමි වූූ අතර, ඔවුන් ඉදිරි දිනකදී සුවිශේෂී රථ පෙළපාලියක් මගින් සිය නිවසට කැඳවාගෙන යනු ඇත.



 

More News..