brand logo
logo
 එල්නිනෝ හමුවේ සෞඛ්‍යයට දැඩි අවදානමක්

එල්නිනෝ හමුවේ සෞඛ්‍යයට දැඩි අවදානමක්

19 August 2026


පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය හමුවේ හිරු රශ්මියට නිරාවරණය වීම හේතුවෙන් විවිධ සෞඛ්‍ය ගැටලු සහ රෝගී තත්ත්වයන් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය පැවසුවාය.


අද (19) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.


අධික උෂ්ණත්වයක් සහිත මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් සමේ කුෂ්ඨ සහිත තත්ත්වයන් මෙන්ම මස්පිඩු පෙරළීමද ඇතිවිය හැකි අතර, අධික උෂ්ණත්වයට දීර්ඝ වේලාවක් නිරාවරණය වීමෙන් ජීවිත පවා අහිමි විය හැකි බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.


මෙම තත්ත්වයන්ට මුහුණදීමේ වැඩි අවදානමක් සහිත කාණ්ඩ ලෙස කුඩා දරුවන්, වැඩිහිටි පුද්ගලයන් මෙන්ම බෝ නොවන හා නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් හඳුනාගත හැකි බවද වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය පැවසුවාය.


එමෙන්ම, එළිමහන් ස්ථානවල රාජකාරි කරන පුද්ගලයන් සහ කෘෂිකර්මාන්තයේ නිරත පිරිස්ද මෙම තත්ත්වය හේතුවෙන් දැඩි අවදානමකට ලක්විය හැකි බව විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය සඳහන් කළාය.


විශේෂයෙන්ම මෙම සෞඛ්‍ය ගැටලු අවම කර ගැනීම සඳහා පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ අධික හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වැළකී සිටීම වැදගත් බවද ඇය පෙන්වා දුන්නාය.


සම වියළීම වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් හැකි තරම් ජලය පානය කිරීම වැදගත් බවත්, ප්‍රමිතිගත ආලේපන වර්ග භාවිත කිරීම තුළින්ද එවැනි තත්ත්වයන් අවම කරගත හැකි බවත් වෛද්‍යවරිය පැවසුවාය. එමෙන්ම උණුකර සිසිල් කළ ජලය පානය කිරීම සුදුසු බවත්, සිසිල් ජලය යනු අනිවාර්යයෙන්ම ශීත කළ ජලය නොවන බවත් ඇය පැහැදිලි කළාය.


තවද, ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, ලා පැහැති ඇඳුම් ඇඳීම සහ හිස ආවරණය කිරීම මෙන්ම, විශේෂයෙන්ම නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ නිසි මාත්‍රාවෙන් භාවිත කිරීමද ඉතා වැදගත් බව වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය සඳහන් කළාය.


මෙම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කරමින් කටයුතු කිරීම සඳහා සියලු ආයතන සමඟ එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.


එල්නිනෝ තත්ත්වය හමුවේ පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවද වෛද්‍යවරිය පැවසුවාය. පාසල් අවසන් වන වේලාවේදී දරුවන් හිස් ආවරණයක් හෝ කුඩයක් භාවිත කිරීම, අනවශ්‍ය ලෙස එළිමහනේ ක්‍රීඩා කිරීම අවම කිරීම මෙන්ම හැකි සෑම අවස්ථාවකදීම සෙවණ සහිත ස්ථානවල රැඳී සිටීම වැදගත් බවද ඇය අවධාරණය කළාය.

 

More News..