Best News Website award
brand logo
logo
 රුසියානු ප්‍රහාරයකින් යුක්‍රේනයේ ගොඩනැගිල්ලක් කඩා වැටේ – පුද්ගලයින් 12ක් මරුට

රුසියානු ප්‍රහාරයකින් යුක්‍රේනයේ ගොඩනැගිල්ලක් කඩා වැටේ – පුද්ගලයින් 12ක් මරුට

23 November 2026


රුසියානු හමුදා විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් යුක්‍රේනයේ කියෙව් කලාපයේ මහල් නිවාස ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


කියෙව් නගරයට කිලෝමීටර් 45ක් පමණ උතුරින් පිහිටි ඩයිමර් ප්‍රදේශයේ මහල් පහකින් සමන්විත ගොඩනැගිල්ලකට මෙලෙස හානි සිදුවී ඇත.


යුක්‍රේනයේ රාජ්‍ය හදිසි සේවා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මියගිය පිරිස අතර තරුණයෙකු සහ වයස අවුරුදු 40ක පමණ කාන්තාවක ද සිටින බවය.


එමෙන්ම, ඉරිදා සවස සුන්බුන් අතර සිරවී සිටි දරුවෙකු ජීවතුන් අතර සිටියදීම බේරා ගැනීමට සහන සේවකයින් සමත්ව තිබේ.


කෙසේ වෙතත්, තවත් පුද්ගලයින් 11දෙනෙකු පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, ඔවුන් අතර දරුවන් දෙදෙනෙකු ද සිටින බවත් යුක්‍රේන හදිසි සේවා අංශය සඳහන් කර තිබිණි.


යුක්‍රේනය තවත් ශීත ඍතුවකට මුහුණදීමට සූදානම් වන පසුබිමක රුසියාව අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බව ද වාර්තා වේ.


මේ අතර, යුක්‍රේනයේ මානව හිමිකම් පිළිබඳ ඔම්බුඩ්ස්මන් දිමිත්‍රෝ ලුබිනෙට්ස් මෙම ප්‍රහාරය රුසියාව යුක්‍රේනයට එරෙහිව ගෙන යන ජන සංහාරක යුද්ධයේ කොටසක් ලෙස හඳුන්වා දී තිබේ.


අහිංසක යුක්‍රේන වැසියන් ඝාතනය කිරීම නතර කිරීම සඳහා ලෝක ප්‍රජාව මැදිහත් විය යුතු බවත්, මෙම ප්‍රහාර හෙළා දකිමින් රුසියාව වගකීමට බැඳ තැබිය යුතු බවත් ඔහු සඳහන් කර ඇත.


මීට අමතරව, රුසියානු ප්‍රහාරයකින් විෂ්නෙව් ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලකට හානි සිදුවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අට දෙනෙකු තුවාල ලබා තිබේ.


එමෙන්ම, බිලා ට්සර්ක්වා ප්‍රදේශයේ පෞද්ගලික නිවසකට එල්ල වූ ප්‍රහාරයකින් තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එම නිවස ද ගිනිගෙන තිබේ.


මේ අතර, යුක්‍රේනයේ ඩ්නිප්‍රොපෙට්‍රොව්ස්ක් කලාපයේ පිහිටි විදුලි උපපොළකට ද රුසියාව ප්‍රහාරයක් එල්ල කර ඇති බව යුක්‍රේන අග්‍රාමාත්‍ය සර්හී කොරෙට්ස්කි සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර තිබේ.

 

 

More News..