brand logo
logo
මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳසැල් වටලයි

මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳසැල් වටලයි

25 October 2026


භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු පාරිභෝගික ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් විශේෂ වැටලීම් මාලාවක් ආරම්භ කර ඇත.


පසුගිය ඔක්තෝබර් 20 වැනිදා සිට ඊයේ (24) දින දක්වා දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක මෙම වැටලීම් ක්‍රියාත්මක කළ බවත්, එහිදී නීති උල්ලංඝනය කිරීම් 200කට ආසන්න සංඛ්‍යාවක් සොයාගත් බවත් එම අධිකාරිය ප්‍රකාශ කළේය.


පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදී ගැනීමට ප්‍රථම ඒවායේ මිල ගණන් නිසියාකාරව දැනගැනීමට සැලැස්වීම, වෙළෙඳපොළ තුළ මිල ගණන්වල විනිවිදභාවය තහවුරු කිරීම සහ අසාධාරණ වෙළෙඳ උපක්‍රම වැළැක්වීම මෙම වැටලීම්වල ප්‍රධාන අරමුණ වී තිබේ.


ඒ අනුව, මෙම පරික්ෂාවන් අතරතුර සහල්, සීනි, පරිප්පු, එළවළු, පලතුරු, තිරිඟු පිටි, බේකරි නිෂ්පාදන, කෙටි ආහාර, රෙදිපිළි, විදුලි උපකරණ, ජංගම දුරකථන උපාංග ඇතුළු තවත් පාරිභෝගික භාණ්ඩ රාශියක් අලෙවි කරන වෙළෙඳසැල් නිරීක්ෂණයට ලක් කිරීමට පියවර ගෙන ඇත.


ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, අම්පාර, මඩකලපුව, අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, මහනුවර, මාතලේ, කෑගල්ල, රත්නපුර, මොනරාගල, ත්‍රිකුණාමලය, මන්නාරම, මුලතිව් සහ වවුනියාව යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම විශේෂ වැටලීම් මාලාව දියත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.


මෙහිදී නීති කඩකළ වෙළෙඳ ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති අතර, ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු පැවරීමටද දින නියම කරගත් බව සඳහන් වේ.


මීට අමතරව, මෙම වැඩසටහනට සමගාමීව තිරිඟු පිටි අලෙවිය, වෙළෙඳපොළේ පවතින තොග ප්‍රමාණයන්, මිල ප්‍රදර්ශනය කිරීම සහ අදාළ නීතිමය කොන්දේසි ඉටුකිරීම සම්බන්ධයෙන්ද විශේෂ විමර්ශන පවත්වා ඇත. එහිදී මිල ප්‍රදර්ශනය නොකිරීම සහ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගත් බව අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කළේය.

 

More News..