brand logo
logo
නිරුවතින් ගිය යතුරුපැදි ගමන

නිරුවතින් ගිය යතුරුපැදි ගමන

03 March 2025 | සාලිය ගමසිංහආරච්චි - කෑගල්ල

පුද්ගල ආකර්ෂණය දිනාගැනීම සඳහා නිරුවතින් යතුරුපැදියක් ධාවනය කළ පුද්ගලයකු කඩුගන්නාව පොලිසිය විසින් මාර්ග බාධකයක් යොදා අද (3 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.


කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ මහනුවර දෙසට නිරුවතින් යතුරුපැදියක් පදවාගෙන ගිය තරුණයකු වෛද්‍යවරයකු විසින් දැක 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දී ඇත.


මේ අනුව මාවනැල්ල පොලිසිය දැනුවත් කිරීමට හදිසි ඇමතුම් ඒකකය පියවර ගෙන ඇති අතර මාවනැල්ල පොලිසියට අදාළ තරුණයා මගහැරී තිබිණි.


පසුව මේ පිළිබඳ කඩුගන්නාව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිසිය කඩුගන්නාව ගලවිදින ලද ස්ථානය පසු කළ අවස්ථාවේදී බස් රථයක් මග හරස් කරමින් මෙම යතුරුපැදිය නවතාගෙන ඇත.


පොලිසිය යතුරුපැදිය නවතාගත් අවස්ථාවේදී සැකකාර පුද්ගලයාගේ සිරුරේ නූල් පොටක් හෝ නොතිබුණු බව කඩුගන්නාව පොලිසිය පවසයි.

පසුව කඩුගන්නාව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කමිසයක් හා ටී ෂර්ටයක් රැගෙන විත් සැකකරුට අන්දවා පසුව ඔහු හා යතුරුපැදිය පොලිසිය භාරයට ගෙන ඇත.


මෙම සැකකරුගේ මව වෛද්‍යවරියක වන අතර පියා ව්‍යාපාරිකයෙකු වේ. සැකකරු සිය යතුරපැදියෙන් අලුයම 04 ට නුගේගොඩ නිවසේ සිට පැමිණ ඇති බවද ප්‍රකාශ කර ඇත.


තමන් යතුරුපැදියේ ගමන් කරන අතරතුර ඇඳුම් ඇඳගත් බොහෝ දෙනකු ගමන් කරනු දුටු බවත් තමා අන් අයට වඩා ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් තමා එකින් එක ඇඳුම් ගලවා ගෙන යතුරුපැදිය ධාවනය කළ බවත් සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.


සැකකරු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිද්දා (05 වැනිදා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ අතර සැකකරු මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමුකිරීමට එහිදී නියෝග කෙරිණි.


කඩුගන්නාව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණරත්න, රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් තිලකරත්න, පොලිස් සැරයන් රූපසිංහ (35374), පොලිස් කොස්තාපල්වරුන් වන විජේසිරි (74768) සහ අනුරුද්ධ (12561) යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

 

More News..