brand logo
logo
නඩුකාරයන්ට සේවා දිගු අලින්ට දම්වැල්

නඩුකාරයන්ට සේවා දිගු අලින්ට දම්වැල්

08 August 2026 | සුන්දර නිහතමානි ද මැල්

මේ දිනවල මගේ කාලය ගතවන්නේ ටෙලිවිෂන් නැරඹීමෙන්, රේඩියෝ ඇසීමෙන් හා පුවත්පත් කියවීමෙන්ය. ඒ මේ ආණ්ඩුව රටේ මිනිසුන්ගේ සියලු ප්‍රශ්න විසඳා හමාර යැයි කියන ජයග්‍රාහී ප්‍රවෘත්තිය බලන්නට, අහන්නට හා කියවන්නට ආසාවෙනි. එහෙත් කුහක ජඩ මාධ්‍යය ඒ වටිනා ප්‍රවෘත්තිය හිතාමතාම මගහරිමින් සිටින බව පෙනේ. එය පිටුපස විපක්ෂයේ කුමන්ත්‍රණයක් ඇතැයි මම සැක කරමි.

කරුණාකර ආණ්ඩුව මිනිසුන්ගේ සියලු ප්‍රශ්න විසඳා ඇති බව මා දන්නේ කෙසේදැයි වැනි ගොන් ප්‍රශ්න ඇසීමෙන් වළකින්න. එය දැනගැනීම ඉතා පහසුය. ආණ්ඩුව ළඟදීම සත්ත්ව සුබසාධනය සඳහා පනතක් ගෙන ඒමට සූදානම් වෙන බව ඔබ දන්නවාද? සත්ත්ව සුබසාධනය ගැන ආණ්ඩුවේ අවධානය යොමුවී ඇත්තේ ඔවුන් මේ රටේ මිනිසුන්ගේ සුබසාධනය සඳහා කළ යුතු සියල්ල කර අවසාන නිසාය. සරලයි, සුගමයි.


සත්ත්ව සුබසාධනය සඳහා ආණ්ඩුව ගන්නට යන තීරණ අතරින් වඩාත්ම වැදගත් වන්නේ අලින්ට දම්වැල් දැමීම තහනම් කිරීමය. දස වද දී අල්ලාගෙන, දස වද දී හීලෑ කරගන්නා අලියෙකුගේ කකුල්වලට තවදුරටත් දම්වැල්ද දැමීම ඉතා අමානුෂිකය. දැන්වත් ඌට නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ දිය යුතුය. උගේ මානව හිමිකම් (සොරි, සත්ත්ව හිමිකම්) ආරක්ෂා වන්නේ එවිටය. බෞද්ධ පෙරහරවලට අලි අත්‍යවශ්‍ය බව සැබෑ වුවත් මීට පසු උන් පෙරහරේ ගෙනයන විට දම්වැල් දමන්නට බැරිය. එවිට අලි කුලප්පු වනු ඇතැයි පෙරහර ප්‍රේමීන් කියන්නට බැරි නැත. ඉතින් මොකෝ? ආණ්ඩුවේ පරමාර්ථය සත්ත්ව සුබසාධනය මිස පෙරහර සුබසාධනය නොවේ.


ආණ්ඩුව සිතන්නේ මීට පසුව පෙරහරවල ගෙන යන අලින්ගේ කකුල්වල දම්වැල් වෙනුවට පිරිත් නූල් ගැටගසා ගෙන යායුතු බව විය යුතුය. පිරිත් නූල් දම්වැල්වලට වඩා බලසම්පන්න නිසා දම්වැල්වලට වඩා හොඳින් අලියා කීකරු කරගැනීමට ඒවාට හැකිවනු ඇති බව බුද්ධිමත් ආණ්ඩුව කල්පනා කරනවා නිසැකය. මෙබඳු වටිනා අදහස් ඇති ආණ්ඩුවක් මීට කලින් පත් කරගැනීමට අපට නොහැකි වූයේ අපේ අවාසනාව නිසාය.


දු⁣ටුගැමුණු සමයේ විජිතපුර බළකොටුවේ දොරටුව බින්දේ කඩොල් ඇතා බව ඇත්තය. එහෙත් මිසයිල යුගයේ යුද්ධ කරන්නට ඇත් හමුදා ඕනෑ නැත. ඉස්සර සමහර අලින් කළේ කොටන් ඇදීම වැනි බර වැඩය. දැන් ඒවාටද ඇතිපදම් යන්ත්‍රෝපකරණ තිබේ. ඒ කාලයේ සමහර අලි කොටන් අදිද්දී තවත් සමහර අලි පෙරහරේ ගියෝය. යුද්දෙට මිසයිල, ආර්ථිකේට යන්ත්‍රෝපකරණ ආවා මෙන් (සංස්කෘතික) පෙරහරද යාවත්කාලීන කිරීමට මේ ආණ්ඩුව කල්පනා කර ඇතැයි යනු මගේ විශ්වාසයයි. එවිට අලින්ට දම්වැල් දැමීම හෝ නොදැමීම හෝ ප්‍රශ්නයක් වන්නේ නැත. ඒ අනුව මින් පසු දළදා පෙරහරේදී කෘත්‍රිම බුද්ධියෙන් (Artificial Intelligence) අලි මවා පෙන්වීමට ආණ්ඩුව කටයුතු කරනවාට මොනවද ඔට්ටු? මවා පෙන්වීමට ඉතා දක්ෂ මේ ආණ්ඩුවට අලි මවා පෙන්වීම මහ වැඩක් නොවේ.


මේ සති අන්තයේ ජනාධිපතිතුමා මල්වතු - අස්ගිරි මහානායක උන්නාන්සේලා බැහැදකින බව මේ දැන් මට ආරංචි විය. එතුමා යන්නේ උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සේවා දිගුව ගැන කතාබහට විය යුතුය. එහිදී අපේ උන්නාන්සේලා පෙරහරේ අලින්ගේ දම්වැල් ප්‍රශ්නය මතු කරනු ඇත. ඒ අනුව දැන් පැමිණ තිබෙන්නේ වින් - වින් සිටුවේෂන් (Win-Win situation) එකෙකි. නඩුකාරයන්ගේ ප්‍රශ්නය ගොඩ ගියොත් අලින්ගේ දම්වැල් ප්‍රශ්නයද ගොඩ යනවා ඇත. මෙහිදී නඩුකාරයන්ගේ ප්‍රශ්නය නැගලා යනවාත් සමග සත්ත්ව සුබසාධන පනතක්ද මතු වූයේ අහම්බයකින්දැයි මගේ පුංචි මොළයට හිතුණේය.


 

More News..